ඇලෝසියස් ඇතුළට

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ‍පොලිස් කණ්ඩායමක් විසින් පර්පචුවල් ටේ‍රෂරිස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ විධායක නිලධාරී කසුන් පලිසේන යන මහත්වරුන් ඊයේ (04) සැකපිට අත්අඩංගුවට ගනු ලැබිය.

අර්ජුන් ඇලෝසියස් මහතා ඔහු පදිංචිව සිටි කොල්ලුපිටියේ මල්පාරේ පිහිටි නිවසේදීත් කසුන් පාලිසේන මහතා ඔහු පදිංචිව සිටි වැල්ලවත්තේ අර්තුෂා පාරේ නිවසේදීත් අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේදී අනාවරණය නොකළ යුතු මූල්‍ය සංවේදීතාවක් ඇති රහස්‍ය තොරතුරු මහ බැංකුවේ යම් පාර්ශ්වයන් විසින් හෙළිකර තිබේද යන්න පිළිබඳව විමර්ශනයක් පවත්වන ලෙසට වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට 2016 නොවැම්බර් 25 වැනිදා කළ  පැමිණිල්ලක් අනුව කෙරෙන විමර්ශනයකට අදාළව ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය සිකුරාදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එතෙක් කළ බැඳුම්කර විමර්ශනයට අදාළව අධිකරණයට කරුණු දක්වමින් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන යන මහත්වරුන් සැකකරුවන් ලෙස නම් කරනු ලැබිය. මේ වන විට අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවේ සිටින බැවින් ඔහු මෙරටට ගෙන්වා ගැනීමට ජාත්‍යන්තර ‍පොලිසිය හරහා ක්‍රියාත්මක කිරීමට නියෝගයක් පවා අධිකරණය විසින් නිකුත් කරනු ලැබිය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරුවන් ලෙස නම් කරනු ලැබූ තිදෙනාගෙන් දෙදෙනකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාද අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානමින් සිටී.

මේ අතර අර්ජුන ඇලෝසියස් සහ කසුන් පලිසේන යන අය කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

ගයාන් කුමාර වීරසිංහ
ඡායාරූපය- සජීව චින්තක කහඳගමගේ

more recommended stories

%d bloggers like this: