“එක්වෙමු නැගිටිමු – අටුකොටු පුරවමු” ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය අද ඇරඹේ..!

ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමයට සමගාමීව ක්‍රියාත්මක වන මහවැලි සතිය අද (06 වැනිදා) සිට ආරම්භ වේ. ලබන 12 වැනිදා දක්‌වා පැවැත්වෙන එකී මහවැලි සතිය වැඩසටහන “යළි අපි නැගිටිමු – අටුකොටු පුරවමු” යන තේමාව යටතේ පැවැත්වේ.

කන්න කිහිපයක පැවැති අයහපත් කාලගුණය නිසා ආහාර නිෂ්පාදනයේ ඇතිවූ පසුබෑම වළක්‌වාලමින් ආහාර නිෂ්පාදනයේ නව පිබිදීමක්‌ ඇති කරනු වස්‌ මෙවැනි වැඩසටහනක්‌ විශේෂයෙන් ක්‍රියාත්මක කර ඇත.

කෘෂිකර්ම ක්‍ෂේත්‍රය සහ ඊට අනුබද්ධ සියලුම රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන, ගොවි ජනතාව සහ පෞද්ගලික අංශයේද නායකත්වය ලබාගනිමින් කඩිනම් වැඩසටහනක්‌ ලෙස මහවැලි කලාප නියෝජනය වන පරිදි එය ක්‍රියාත්මක වේ.

මහවැලි සංවර්ධන සහ පරිසර ඇමැති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මඟපෙන්වීම යටතේ මෙම ආහාර නිෂ්පාදන සංග්‍රාමය ප්‍රකාශයට පත්කර ඇත. ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඇරැඹි එම වැඩසටහනේ ප්‍රධාන වගකීම මහවැලි අධිකාරියටත් කෘෂිකර්ම අමාත්‍යාංශයටත් පැවැරිණි.

මහවැලි කලාප 10 ක මිලියනයක්‌ පමණ ජනතාවට එමගින් සෘජු ප්‍රතිලාභ හිමිවේ. එපමණක්‌ නොව අවසානයේ අටුකොටු පිරුණු රටක ප්‍රතිලාභ හුදෙක්‌ එම රටවැසියන්ටමය. ඉදින් මාහැඟි කර්තව්‍යය මගින් ආහාර නිෂ්පාදනයේ නව ප්‍රබෝධයක්‌ ඇති කිරීම, වස විසෙන් තොර ගුණාත්මක ආහාර නිෂ්පාදනය, මහවැලි ගොවි ආර්ථිකය දියුණු කරලීම, තිරසර පාරිසරික සංවර්ධනය ආදි අරමුණු ඉටුකර ගැනීමට අපේක්‍ෂා කෙරේ.

එමෙන්ම රැකියා උත්පාදනය, පශු සම්පත්, මිරිදිය සහ ධීවර මත්ස්‍ය නිෂ්පාදනය ඉහළ නැංවීම, ඉඩම් ඔප්පු ලක්‍ෂයක්‌ ගොවි අයිතියට පැවරීම සාක්‍ෂාත් කර ගැනීම සහ මහවැලි කාර්යාල පද්ධතිය කාර්යක්‍ෂම කිරීමද එහි අරමුණු අතර මුල්තැනක්‌ ගනී.

මහවැලි ගොවියාගේ ආර්ථිකය ශක්‌තිමත් කරලීම සඳහා ගොවි, අධ්‍යාපනික පරිසර, ව්‍යවසායකත්ව, දියවර හා ධීවර ආදි විෂයයන් යටතේ වැඩසටහන් රැසක්‌ ඒ වෙනුවෙන් සංවිධානය කර ඇත.

2017/18 මහකන්නයට ආශිර්වාද පතා සිදුකෙරෙන සර්වආගමික වැඩසටහන් මගින් මහවැලි සතිය ආරම්භ වේ. මහවැලි කලාප 10 තුළම එම වැඩසටහන් පැවැත්වෙන අතර ප්‍රධාන වැඩසටහන දඹුලු විහාරය, කලාවැව සහ ශ්‍රී මහා බෝධිය අසළදී පැවැත්වේ. බෝධි පූජා, දේව පූජා, වැසි පිරිත්, අධ්‍යාත්මික වැඩසටහන්, ධර්ම දේශනා සහ දානමය පිංකම් ඊට ඇතුළත්ය.

ජාතික වප් මගුල් උළෙල කේන්ද්‍ර කරගෙන පැවැත්වෙන ගොවි දිනය ඊට පසු දිනට යෙදී තිබේ. 2017/18 මහවැලි කෘෂි ව්‍යාප්ති සැලැස්‌ම ප්‍රකාශයට පත්කිරීම, ගෙවතු සංවර්ධන විශේෂ වැඩසටහන ආරම්භ කිරීම, කොස්‌, පලතුරු පැළ 5000 ක්‌ රෝපණය කිරීම, නව කෘෂි තාක්‍ෂණය පිළිබඳ ගොවි පුහුණු භෝග සායන වැඩමුළු 46 ක්‌ පැවැත්වීම ආදිය එහිදී සිදුකෙරේ.

එදින ප්‍රකාශයට පත් කෙරෙන මහවැලි කෘෂිකර්ම ව්‍යාප්ති සැලැස්‌ම අනුව වී මෙටි්‍රක්‌ ටොන් පන් ලක්‍ෂයක අස්‌වැන්නක්‌ 2017/2018 මහ කන්නයේදී අපේක්‍ෂා කෙරේ. එමෙන්ම බඩ ඉරිඟු මෙටි්‍රක්‌ ටොන් 8690 ක්‌, සෝයා මෙටි්‍රක්‌ ටොන් 1554 ක්‌, සහ එළවළු මෙටි්‍රක්‌ ටොන් 46000 ක අස්‌වැන්නක්‌ අපේක්‍ෂා කෙරේ. එසේම කුරක්‌කන්, මාංෂ භෝග, ලොකු ළුEණු ආදී කෘෂි භෝග යටතේදීද සැලකිය යුතු අස්‌වැන්නක්‌ ලබාගැනීම එහි මූලික පරමාර්ථ වේ.

ගෙවතු ආශ්‍රිත භෝග වගා කාර්යක්‍ෂමතාවය සහ භූමි ඵලදායිතාවය වැඩිකිරීම නව තාක්‍ෂණ ක්‍රමවේද ගෙවතු වගාවට යොදාගැනීම 2017/2018 මහ කන්නයේ සිට ඉදිරි වසර තුන සඳහා සැලසුම් කර ඇත.

ඒ යටතේ ආදර්ශ ගෙවතු 15000 ක්‌ ඇති කිරීමට අපේක්‍ෂිතය. විශේෂයෙන් සෑම ගොවි පවුලක්‌ම පවුලේ ආදායම වර්ධනය සඳහා නිෂ්පාදන සැලැස්‌මක්‌ ලබාදීම, ඉඩමේ ඵලදායිතාවය වර්ධනය සඳහා වගා සැලැස්‌මක්‌ ඇතිකිරීමටද කටයුතු යොදනු ඇත.

ඔක්‌තෝබර් හත්වැනිදාට යෙදෙන අධ්‍යාපන හා පරිසර දිනය යටතේද පාසල් ආශ්‍රියෙන් ආදර්ශ ගෙවතු 223 ක්‌ පිහිටුවීම සිදුකෙරේ. තිරසාර කෘෂිකාර්මික ගෙවතු වගා සංස්‌කෘතිය හා මහවැලි සංවර්ධන ව්‍යාපාරය පිළිබඳ පාසල් දරුවන්ගේ දැනුම පුළුල් කිරීමද, මහවැලි ජලාශ නැරඹීම සඳහා පාසල් සිසුන් 250 ක්‌ සම්බන්ධ කර ගැනීමද එහිදී සිදුකෙරේ.

පශු පැළ සම්පත් ගොවීන් දිරිගැන්වීම සඳහා කිsරි ගවයින්, කුකුළු පැටව්, කිරි දොවන යන්ත්‍ර, නව නිවාස, කුකුළු නිවාස සහ තෘණ කැබැලි කරන යන්ත්‍ර සඳහා දායකත්ව මුදල් ලබා දීමේ වැඩසටහනක්‌ පශු සම්පත් දිනය යටතේ ක්‍රියාත්මක වේ. ඒ මේ මස 08 වැනිදාය. ඒ සඳහා රුපියල් මිලියන 2.5 ක මුදලක්‌ ලබා දීමට නියමිත අතර ඊට අමතරව සත්ත්ව ආහාර නිෂ්පාදනය, කල් තබා ගැනීම පිළිබඳ ක්‌ෂේත්‍ර දින 10 ක්‌ සහ සත්ත්ව සායන දින 10 ක්‌ ද ක්‍රියාත්මක වේ.

මහවැලි ව්‍යවසායකයන් දිරිගැන්වීමේ වැඩමුළුව යටතේ ව්‍යවසායකයන් 15 ක්‌ ඒ සඳහා සම්බන්ධ කරගනු ඇත. එමෙන්ම ආහාර සකස්‌ කිරීමේ තාක්‍ෂණය පිළිබඳ කාන්තාවන් දැනුවත් කිරීමේ වැඩමුළු 10 ක්‌ද, ව්‍යවසායකත්ව දිනයට අන්තර්ගතය. මහවැලි සුළු පරිමාණ ව්‍යවසායකයන්ට සහන පදනම මත භාණ්‌ඩ හා උපකරණ ලබාදීම, තරුණයන් සඳහා ස්‌වයං රැකියා පිළිබඳ වැඩමුළු මෙන්ම ස්‌වයං රැකියා ලාභීන්ට නිෂ්පාදන භාණ්‌ඩ ප්‍රදර්ශන වැඩමුළු දෙකක්‌ද එදින පැවැත්වේ.

මහවැලි ධීවරයන්ගේ ධීවර ශක්‌තිය වැඩිකිරීම පිණිස තෝරාගත් ජලාශ කිහියකට මත්ස්‍ය ඇඟිල්ලන් ලක්‍ෂ 10 ක්‌ නිදහස්‌ කිරීම, විසිතුරු මත්ස්‍ය වගා ප්‍රවර්ධන වැඩසටහන් පැවැත්වීම, ධීවර සමිති ශක්‌තිමත් කිරීම, ධීවර දිනය යටතේ සිදුකෙරේ. එමෙන්ම මිරිදිය මත්ස්‍ය පොකුණු ඉදිකිරීම සහ ධීවර ආම්පන්න සහන පදනමට ලබාදීමද ධීවරයන්ගේ ශක්‌තිය ඉහළ නැංවීමට හේතුවනු ඇත.

saru1 මහවැලි කාර්යාල 54 ක්‌ ආදර්ශ කාර්යාල බවට පත්කිරීම රාජ්‍ය සේවක දිනය යටතේ ක්‍රියාත්මක වන ප්‍රමුඛ කාර්යයක්‌ වේ. නිලධාරීන්ගේ ආකල්ප හා ඵලදායිතාවය වර්ධනය කිරීමේ වැඩමුළු සහ මහවැලි සේවක ගැටලු විසඳීමේ ජංගම වැඩසටහන් 10 බැගින් පැවැත්වීමද එහිදී සිදුකෙරේ.

ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමයේ මහවැලි සතිය දියවර දිනයෙන් නිමා වේ. එනම් ලබන බ්‍රහස්‌පතින්දාය. ලොව මවිත කළ වාරි තාක්‍ෂණයක්‌ හිsමි මහවැලි ජල කළමනාකරණ ක්‍රමවේද මගින් වාරි ජල භාවිතාවයේ කාර්යක්‍ෂමත්වය ඉහළ නැංවීම මෙහි අරමුණ වේ. ඒ අරමුණ සාක්‍ෂාත් කර ගැනීම සඳහා සකස්‌ කළ වැඩසටහන් කිහිපයකි. එහිදී වැව් ප්‍රතිසංස්‌කරණ වැඩසටහන්, වාරි ඇළ පද්ධති ශුද්ධ කිරීම සහ අලුත්වැඩියාවද සිදුකෙරෙනු ඇත. ඒ සඳහා ශ්‍රමදාන 223 කින් දායකත්වය ලබා ගැනීමට අපේක්‍ෂා කෙරේ. එසේම ඇළ පද්ධති නඩත්තුව සඳහා ගොවි සංවිධාන වෙත උපකරණ ලබාදීමද ජල කළමනාකරණ වැඩමුළු 16 ක්‌ පැවැත්වීමද සිදුකෙරේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ජාතික වප්මඟුල් උළෙලේ මෙවර තෝතැන්න හුරුළු වැව කලාපයේ මාධාටුගම කොට්‌ඨාසයේ තිබ්බටුවැව ආශ්‍රිත වෙල් යායයි. වප්මඟුල් උලෙල පැවැත්වීම සඳහා එම බිම් සකස්‌ කිරීම බීජ තවාන් දැමීම ගොවීන් අතින් යුහුසුළුව සිදුවේ.

මේ අනුව බලන කළ ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය සඳහා මහවැලි සතිය යටතේ ලබා දෙන දායකත්වය අපරිමිතය. ඒ පිළිබඳව පැවැති මාධ්‍ය හමුවකදී මහවැලි අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් ඝෝඨාභය ජයරත්න මහතා ප්‍රකාශ කළේ මෙහි ඇතැම් වැඩසටහන් මෙතකින් නිමා නොවන බවය. වසර තුනක්‌ පුරා දිවයන වැඩපිළිවෙල මෙන්ම වසර හතළිහක්‌ දක්‌වා නිමා නොවන වැඩසටහන්ද ඊට ඇතුළත් බව හෙතෙම පැවසුවේය.

නියඟයට හෝ ගංවතුරට හෝ වෙනත් ස්‌වභාවික ව්‍යසායකයන්ට හෝ ඉඩ දෙමින් ගොවියා වස බොන තත්ත්වයට පත් නොකර මෙවැනි වැඩසටහන් ඇරඹීම සැබැවින්ම අගය කළ යුත්තකි. ජලය ගොවියාට අභියෝගාත්මක සාධකයක්‌ නම් ඒ අභියෝගය ජය ගැනීමට අප ශක්‌තිමත් විය යුතුය. ලොව අති පැරැණිම විශිෂ්ට වාරි තාක්‍ෂණයක්‌ පැවැති මහවැලිය ආශ්‍රිත ගොවියා වගා කරන්න වතුර නැතැයි කියනවා නම් එය ලැඡ්ජාවට පත්විය යුතු කරුණකි. එම අභියෝග ජය ගැනීමට මහවැලි සතිය මඟින් නොමඳ රුකුලක්‌ ලැබේ.

more recommended stories

%d bloggers like this: