දූෂණ විරෝධය යනු රටක ආත්මාරක්ෂාව සලසාගැනීමයි! – වසර 70ක අතීත අත්දැකීම් ගැන ජනපති මෛත්‍රී හැත්තෑ වැනි නිදහස් සැමරුමේදී කතා කරයි

ජාතියේ ප්‍රගමනය සඳහා ප්‍රබුද්ධ වූ වැඩපිළිවෙළකට අප සියලු දෙනා කැප විය යුතු බවත් ජාතියක් ලෙස අපට ඇති අභියෝග සියල්ල ජය ගැනීමට නොපමාව කටයුතු කළ යුතු බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (04) පැවසීය.

පත්වූ සෑම රාජ්‍ය නායකයෙක්ම සෑම රාජ්‍යයක්ම මෙරට සංවර්ධනය කිරීමට උත්සාහ ගත් බවත් එය වඩා නිවැරදිව ඉටු කිරීමට සියලු දෙනා ක්‍රියා කළ යුතු බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

70 වැනි ජාතික නිදහස් උත්සවයේදී ජාතිය අමතා ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේය. ගාලුමුවදෙර පිටියේදී ඊයේ (04) උදෑසන අති උත්කර්ෂවත් අන්දමින් නිදහස් සැමරුම් උත්සවය පැවැත්වුණි.

එහිදී ජාතිය අමතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද කීය.

අප අද ඉතාමත් ගෞරවයෙන් මෙන්ම අභිමානයෙන් සිහිපත් කරන්නේ අපේ රටට යටත්විජිත යුගයෙන් නිදහස ලැබී වසර 70 ක් සපිරීමයි. මේ ගෙවී ගිය වසර 70 ක අත්දැකීම් අපේ රටේ අනාගතය ශක්තිමත් කර ගැනීම සඳහා අනාගත ප‍්‍රගමනය සඳහා ඉතාමත් වැදගත් වෙනවා. විශේෂයෙන්ම 1948 නිදහස ලැබීමෙන් පසු අපට තිබූණු අභියෝග ගණනාවක් අප විසින් ජය ගනු ලැබුවා. ඒ සඳහා එදා සිට මෙදා දක්වා බලයට පත්වූ සෑම රජයක්ම, රාජ්‍ය නායකත්වයක්ම, රාජ්‍ය නිලධාරින්, ආරක්ෂක අංශ රටේ පොදු මහජනතාව ඒ සියල්ල සිය වගකීම් සහ යුතුකම් මනා ලෙස ඉටු කර තිබෙන බව මම විශ්වාස කරනවා.

බලාපොරොත්තු නොවූ ආකාරයට අපේ රට බෙදීමට, වෙන් කිරීමට ඇතිවූ මිලේච්ඡු එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදී ව්‍යාපාරය නිසා ඔවුන් පරාජයට පත්කිරීමට අපට වසර 26 ක පමණ දීර්ඝකාලීන යුද්ධයකට මුහුණදීමට සිදුවුණා. එය අපේ ආර්ථික පසුබෑමක් මෙන්ම විවිධ ක්ෂේත‍්‍රවල ජාතියේ ප‍්‍රගමනය සඳහා ගෙන ගිය ප‍්‍රබුද්ධ වූ වැඩපිළිවෙළ තුළ පසුගාමී තත්ත්වයන් ඇතිවීමට හේතු වුණා. එහෙත් අපේ ඉතිහාසයේ වසර ගණනක ශ්‍රේෂ්ඨත්වය, අභිමානය, පෙර දවස මහා අභිමානවත් ශ්‍රේෂ්ඨ වූ ඒ මහා කතාවෙන් අපට තිබෙන අත්දැකීම් ජාතියට ඇතිවී තිබෙන ජීව ගුණය ඒ සියල්ල සමග අපට අපේ අනාගතය ස`දහා අප ඉදිරි වැඩපිළිවෙළ ශක්තිමත් කර ගැනීමට අපේ රට තුළ සිටින උගතුන්, බුද්ධිමතුන්, බහුශ‍්‍රැතයන් පඩිවරුන් විවිධ ක්ෂේත‍්‍රවල විද්වතුන් සමග රටේ පොදු මහජනතාව ඒ සිය යුග මෙහෙවර ඉටු කරමින් සිටිනවා.

අද අප මුහුණ දෙන්නා වූ ප‍්‍රධානතම අභියෝග මොනවාද, ජාතියේ අනාගතය සඳහා අප විසින් කළ යුතු මෙහෙවර කුමක්ද, හැත්තෑ වසරක අතීත අත්දැකීම් සමග අනාගතය ගොඩනගා ගැනීම සඳහා අප ඒ අභියෝග තේරුම්ගත යුතු වෙනවා. ජාතියේ ප‍්‍රගමනය සඳහා ප‍්‍රබුද්ධ වූ වැඩපිළිවෙළකට අප සියලූදෙනා කැපවිය යුතු වෙනවා. එය අප වැලඳගත යුතු වෙනවා. එහි තිබෙන්නා වූ ජීව ගුණය අප විසින් ශක්තිමත් කළ යුතු වෙනවා. අද ඔබ අප කවුරුත් දන්නා පරිදි අපට ආර්ථික වශයෙන් අසීරුතාවන් තිබෙන පසුබිම තුළ එම ආර්ථික ජයග‍්‍රහණ ළඟා කර ගැනීම සඳහා රජයක් විදියට කැපවී සිටිනවා. අප මුහුණදෙන අභියෝග අතර දුගීභාවය, ප‍්‍රබල වූ අභියෝගයක්.

ඒ වගේම අපේ රට උගතුන්ගෙන්, බුද්ධිමතුන්ගෙන්, පඩිවරුන්ගෙන් අදට වඩා ශක්තිමත් කළ යුතුයි. ජාතියේ අනාගතය සැමවිටම ශක්තිමත් වන්නේ උගතුන් වැඩිවූ රටක. එය අප විසින් කළ යුතු වෙනවා. ඒ සඳහා අප අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණවල කාර්යක්ෂමතාව, අධ්‍යාපන ප‍්‍රතිපත්ති සහ සැලසුම්වල අදට ඔබින ආකාරයට සකස් කළ යුතු වෙනවා. මෙහිදී අධි තාක්ෂණික ලෝකයේ  නව ආර්ථික ප‍්‍රවණතාවන් සමග අප මූලික වශයෙන්ම නවෝත්පාදන ආර්ථීකය, හරිත ආර්ථීකය සඳහා කැපවීම ඉතාමත් අවශ්‍ය වෙනවා.

ඒ වගේම මේ රටේ ඉතා වැදගත් ක්ෂේත‍්‍ර ව්‍යවස්ථාපිත ආයතන ගණනාවක් සඳහා අප අවධානය යොමුකළ යුතුයි. පළාත් පාලන ආයතන, පළාත් සභාව, පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායකය, ජනාධිපති තනතුර මේ සියලූ ආයතන සහ තනතුරු වඩාත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස ප‍්‍රතිසංවිධානය කොට යහපත් දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීම අත්‍යවශ්‍ය වී තිබෙනවා. විශේෂයෙන්ම දූෂිත දේශපාලනය ජාතියේ ප‍්‍රගමනයට අනාගතයට අයහපත්  බරපතළ ප‍්‍රශ්නයක් අභියෝගයක් සහ අවහිරයක් වී තිබෙන බැවින් අපි ඉහළ සිට පහළටත්, පහළ සිට ඉහළටත් ජනාධිපති ධුරයේ සිට පළාත් පාලන ආයතන දක්වා, පළාත් පාලන ආයතනවල සිට ජනාධිපති ධුරය දක්වාත් ප‍්‍රතිසංවිධානය විය යුතුයි. සංවර්ධන සැලසූම්වල විධිමත්භාවය මෙන්ම විනයක් ඇති දේශපාලන පරපුරක් සමග මේ රට ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාවය පැහැදිලිව දකිනවා.

සංවර්ධනයේ අභියෝග ජාතියේ අනාගතය සඳහා තිබෙන්නා වූ අභියෝග ජයගැනීමේදී පැහැදිලි ලෙසම දේශපාලනඥයා තුළ තිබිය යුතු අවංකභාවය ඉතාමත් වැදගත් වෙනවා. මේ අවංකභාවය තුළයි ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමටත් රට ගොඩනැඟීමටත් මුළු මහත් පොදු ජනතාව රාජ්‍ය පාලනය සඳහා ඒකරාශී වන්නේ. ඒ නිසා දේශපාලනඥයින් තුළ තිබිය යුතු කැපවීම, අවංකභාවය, නොකිලිටිභාවය, පිරිසිදුභාවය ඉතාමත් වැදගත් යුගයේ අවශ්‍යතාවක් ලෙස මම දකිනවා, මේ හැත්තෑවන නිදහස් සමරුව පවත්වන අවස්ථාවේ ඔබෙත්, මගේ ආදරණීය මාතෘ භූමිය ගොඩනගා ගැනීම සඳහා.

දූෂණ විරෝධය යනු රටක ආත්මාරක්ෂාව යන්න මා මෙහිදී සඳහන් කරනවා.  රටේ සංවර්ධනය සඳහා රටේ අනාගතය සඳහා දූෂණ විරෝධී මතය ශක්තිමත් කිරීම, ඒ මතය ක‍්‍රියාත්මක කිරීම ජාතියේ ප‍්‍රගමනයේ ආත්මාරක්ෂාව ලෙසයි මා මෙහිදී දකින්නේ, එසේම මා මෙහිදී හඳුන්වන්නේ. අපේ ශ්‍රේෂ්ඨ මව්බිම මත ආර්ථික නිදහස ගොඩනැගෙමින් තිබෙන විට ඒ ආර්ථික නිදහසට එරෙහිව දූෂණය අල්ලස හොරකම නාස්තිය අප විසින් පිටුදැකිය යුතු වෙනවා. හොරකම, දූෂණය අල්ලස අපිට අපේ ජාතියේ අනාගතය සඳහා අද ඉතාමත් දැඩි ලෙස බලපා තිබෙන කාරණයක්. සෑම දේශපාලනඥයෙක්ම මේ රටේ තම තමාගේ වගකීම් ඉටු කිරීමේදී ඒ ආදර්ශය දීම අත්‍යවශ්‍ය යුග මෙහෙවරක් යුගයේ කාර්යයක් ලෙසයි මම මෙහිදී හඳුන්වන්නේ.

ඒ නිසා අපි මේ සියලූ කාර්යයන් සඳහා අපේ කැපවීම ඉතා අත්‍යවශ්‍ය බවයි මේ හැත්තෑවන නිදහස් ඓතිහාසික සමුළුවේදී මුළුමහත් ආදරණීය ජනතාව ප‍්‍රමුඛව සියලූ වගකීම් දරන සෑම ක්ෂේත‍්‍රයකම ප‍්‍රධානින්ගෙන්, වගකිවයුත්තන්ගෙන් මා ඉල්ලා සිටින්නේ. අද මූලික වශයෙන්ම දේශපේ‍්‍රමිත්වය යනු මුල්‍ය විනයක් ඇතිව සියලූ දෙනා වැඩ කිරීමයි කියා මා මෙහිදී ඔබට අදහසක් ඉදිරිපත් කරනවා. දේශපේ‍්‍රමිත්වය එක් එක් යුග තුළ, එක් එක් කාලපරිච්ෙඡ්ද තුළ, එක් එක් අවස්ථා තුළ එය අපට විග‍්‍රහ කරන්න පුළුවන්. ඊට අවශ්‍ය නිර්වචනයන් දෙන්න පුළුවන්. අද දේශපේ‍්‍රමිත්වය යනු සෑම කෙනෙක්ම දේශපාලනඥයාගේ සිට රාජ්‍ය නිලධාරීන්ද රටේ අවසාන පුරවැසියා ද සිය කටයුතු කිරීමේදී මූල්‍ය විනයක් තුළ කටයුතු කිරීම  බව මා මෙහිදී දැඩි ලෙස ගෞරවනීය ලෙස අවධාරණය කරනවා.

දූෂණයට, හොරකමට විරුද්ධව මූල්‍ය විනයක් ඇති කිරීමේ පුළුල් ජාතික ව්‍යාපාරයක අවශ්‍යතාවය මා මෙහිදී දකිනවා. නිදහසේ අධිෂ්ඨානය පිරිසිදු, නොකිලිටි දේශපාලනයක් යන්නයි මාගේ අදහස. ඒ නිසා පිරිසිදු, නොකිලිටි දේශපාලනයක් සඳහා මූලික වශයෙන්ම අප සියලූ දෙනාම කැපවෙමින් අපට අපේ රටේ උගතුන්, බුද්ධිමතුන්. බහුශ‍්‍රැතයන් විවිධ ක්ෂේත‍්‍රවල විද්වතුන් ප‍්‍රවීණයින්ගේ සෑදුම්ලත් සාමුහික ප‍්‍රයත්නයක් තුළ අප සියලූදෙනා වගකීම් ඉටුකරමින්, රට ගොඩනගා ගැනීමට තිබෙන ප‍්‍රධාන අභියෝගය වූ දූෂණය වළක්වා ගැනීම සඳහා, අල්ලස වළක්වා ගැනීම සඳහා අප සියලූදෙනාම පුළුල් ජාතික ව්‍යාපාරයක් ගොඩනැගිය යුතුයි කියන පණිවිඩය මේ ගෞරවනීය, ආදරණීය ජනතාවට 70 වන නිදහස් සමුළුවේදී පැහැදිලි කිරීමට කාරුණිකව කැමතියි.

අද මේ ඉතාමත් වැදගත් අවස්ථාව, ගෞරවනීය අවස්ථාව, ජාතියේ අභිමානවත් අවස්ථාව මෙහිදී අප අමතක කළ යුතු නෑ අපේ රට බෙදන්නට විශේෂයෙන්ම එල්ටීටීඊ ම්ලේච්ඡ ත‍්‍රස්තවාදීන් කටයුතු කළ අවස්ථාවේ අපේ යුද නාවික, ගුවන්, පොලිස් සිවිල් ආරක්ෂක සේවා කරන ලද ඉමහත් වූ කැප කිරීම. ඔවුන්ගේ ජීවිත පරිත්‍යාග කරමින් ඔවුන්ගේ අවයව අතපය අහිමි කරමින්, ආබාධිත වෙමින් ඔවුන්ගේ දරුවන් පවුල් ජීවිත ඇතැම් විට අහිමි කරගනිමින් ඉතාමත් වේදනාකාරී අත්දැකීම් සමග ඔවුන් ජාතියේ අනාගතය සඳහා ජාතියේ නිදහස සඳහා මේ රටේ ඒකීයභාවය භෞමික අඛණ්ඩතාව, ස්වෛරිත්වය සඳහා ඔවුන් සටන් කරනු ලැබුවා.

ඒ නිසා මම මේ හැත්තෑවන නිදහස් දින සැමරුම් උළෙලේදී විශේෂයෙන්ම මම රජයේත්, ජනතාවගේත් ගෞවරනීය ප‍්‍රණාමය මේ රටේ යුද, නාවික, ගුවන්, පොලිස් සිවිල් ආරක්ෂක සියලූදෙනා ස`දහාත් ඒ යුද්ධය පැවති කාලයේ ඉතාමත් කැපවීමකින් කටයුතු කළ මුළුමහත් රාජ්‍ය සේවයේත්, පොදු ජනතාව ඒ සියලූදෙනාටම මගේ ගෞවරනීය ස්තූතිය පුදකරනවා සේම විශේෂයෙන් අද මේ හැත්තෑවන නිදහස් සැමරුම් උළෙලට එක්වූ ඔබ සියලූදෙනාටම මම මගේ ගෞවරනීය ස්තූතිය පුදකරමින් අපේ ජාතියේ අනාගතය සඳහා දුගී භාවයෙන් නිදහස් වෙමින්, දූෂණයෙන් නිදහස් වෙමින් සමෘද්ධිමත් ආර්ථිකයක් ගොඩනගමින් ලෝකයේ ප‍්‍රබුද්ධ රාජ්‍යයක් ලෙස ඉදිරියට යන්නට අපේ ඓතිහාසික මතක සටහන්, අත්දැකීම් සමඟ නව අධි තාක්ෂණික ලෝකයේ නව පරපුරත් සමග උගත් තරුණ පරපුරත් සමග අප සියලූදෙනාම කැපවෙමුයි කියන ගෞරවනීය ඉල්ලීම කරමින් ඔබ සියලූ දෙනාට තෙරුවන් සරණ පතමින් ඔබෙන් සමුගන්නවා. ස්තුතියි.

භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්
ඡුායාරූප – චමිල කරුණාරත්න

more recommended stories

%d bloggers like this: