පොලිස් කරපිටින් මෛත්‍රීපාල එළියට ගිය හැටි..!

1962 නොවැම්බර් 22 වැනිදා අල්ලස් පනත් විවාදය පිළිබඳ කලබැගෑනියකට එක්වූ තවත් මන්ත්‍රීවරයෙක් සභාවේ පුටුවක් මත නැගී ඝෝෂා කළේය.

වේත්‍රධාරියාටද මෙල්ල කරගත නොහැකි වූවක් වූ නිසා සභා ගර්භය තුළට පොලිස්  නිලධාරීන් පස් දෙනකු වහා පැමිණි අතර ඔවුන්ටද පහර පිට පහර වැදිණි. ඊළඟ නිහඩ මොහොතේ පොලිස් බළඇණියක්ම කඩා වදිනු දක්නා ලදී.

රොබට් ගුණවර්ධන සුමනපාල  දහනායක සහ මොන්ටේගු ජයවික්‍රම යන මන්ත්‍රීවරු සභාවෙන් ඉවත් කිරීමට ඉහළින් ලැබුණ අණ ක්‍රියාත්මක කිරීමට අසීරු තරමටම සභාව නොසන්සුන්ව තිබිණ.

එවේලෙහි ආසන මතින් පැනගිය එක් පොලිස් පරීක්ෂකවරයෙක් රාජරත්න මහතා මතට කඩා පැන ඔහු බිම පෙරළා ගත්තේය. එම මොහොත සමාන වූයේ රගර් තරගයකට පමණි. සෝමා වික්‍රමනායක මන්ත්‍රීවරිය වහා ක්‍රියාත්මක වී තම සාරිපොටින් රාජරත්නයන් වසාගත් අතර සටන් විරාමයක් දීපල්ලා’ යැයි මන්ත්‍රීවරයෙක් කෑගැසීය.

සෝමාගේ සාරියට මුවාවී එළියටම පැන ගැනීමට රාජරත්න සමත් වූ අතර පොලිසිය සන්නද්ධව සභා ගැබ පීරන විට ස්ටැන්ලි තිලකරත්න මහතා ගිනි නිවන උපකරණයක්ද රැගෙන එනු දක්නා ලදී.

1965 එක් දිනක පාර්ලිමේන්තුවේ මුළු ගැලරියම වසා දමා තිබිණි. ඒ ගැන හේතු අසමින් හබරාදූව මන්ත්‍රී ප්‍රින්ස් ගුණසේකර කෑ ගසන්නට වූයේය. ප්‍රින්ස් නම් කළ යුතු යැයි යෝජනා කළේ සභානායක ජේ.ආර් වන අතර එයට එරෙහිව ඇන්.ඇම් සටන් කළේය.
එදා  කැස්බෑව මන්ත්‍රී සෝමවීර චන්ද්‍රසිරි වනාහි  අපුරු චරිතයකි. ඔහු කවියකු මෙන්ම ව්‍යක්ත කථිකයෙක්ද විය. 1966 ජනවාරි 11දා සිදුවූ මෙවැනිම කලබලයකදී.

“මාව ඔසවාගෙන පලයල්ලා” කියමින් ඔහුම මැතිසබය තුළ කලබල කිරීම නිසා හේතුවක් නොමැතිවම ඔහු නම්කර ඔසවාගෙන යාමට පොලිසියට සිදුවිය.

රජිත් කීර්ති තෙන්නකෝන් කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයාය. ඔහුගේ තොරතුරු අනුව පාර්ලිමේන්තුව කැලඹු රසවත් හාස්‍යජනක හා බිහිසුණු සිද්ධි රාශියක් වාර්තා වෙයි.

1974 මැයි 08 වැනිදා මැති සබය උණුසුම් වුයේ ස්වාධීන  පුවත්පත් සමාගමට අයත් දවස හා සන් පත්තර කාර්යාලයට සීල් තැබීම නිසාය.

‘පුවත්පත් නිදහසට මෙම පියවර  තර්ජනයක්’ යැයි මන්ත්‍රී දහනායක ඇරඹු අදහස් දැක්වීම වෙනදා මෙන්ම ගැටුමක්  දක්වා උත්සන්න විය. යුඇන්පියේ ජේ. ආර්. ද ඔහුට සම්මාදන් විය.

‘මම දහනායකව නම් කරනවා’ සභානායක මෛත්‍රීපාල සේනානායක කතානායකට කීවේය. නියෝජ්‍ය කතානායක ද එය අනුමත කළේය. ගුටි කෙළිය මැද පොලිසිය රිංගා දහනායක ඔසවාගෙන ගියේය.

පත්තර පනත මෙන්ම බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරිමේ  යෝජනාව යුඇන්පිය ගෙන ආ දාද පාර්ලිමේන්තුව උණුසුම් විය. කථානායක  බාකිර් මාකර් ගේ අණ නොතකා කොත්මලේ මන්ත්‍රී ආනන්ද දසනායක ඝෝෂා කිරීමේ වරදට එළියට ඇද දමන්නට සිදුවිය.

ජනපතිට තනතුරට මුවා වෙලා වැරදි කරන්න දෙන්න බෑ.

මෙසේ සභාගැබ දෙවනත් කළේ කලවාන නියෝජනය කළ සරත් මුත්තෙට්ටුවේගමයි.

හමුදාවට අතිරේක මුදලක් වෙන් කිරීම ගැන කතා කිරීමට තමාට වෙන්කළ කාලය මදි බවට විරෝධය පළකළ ඔහු කථානායකට අවනත නොවූ බැවින් පොලිසිය කැඳවන්නට සිදුවිය. ලක්ෂ්මන් ජයකොඩි හා දිනේෂ්  ඊට එරෙහි වෙද්දී සරත් ඉවත් කෙරිණි.

1987 අගෝස්තු 28 වැනිදා පෙරවරුවේ ජනපති ජේ.ආර්. ජයවර්ධනගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමෙ රැස්වීමක් මැතිසබා සංකීර්ණයේ ‘ඒ’ කමිටු කාමරයේදී පැවැත්වෙමින් තිබිණි.

එවෙලෙහි එම කාමරයේ ඇතුළු රහස් දොරක් ඇරී අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල විණ. ඉන් මන්ත්‍රීවරු 16ක් තුවාල ලැබූ අතර රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ලලිත් ඇතුළත් මුදලි ඇතුළු පිරිසක් බරපතළ තුවාල ලැබූහ. කීර්ති අබේවික්‍රම මන්ත්‍රීවරයා සහ කාර්ය මණ්ඩලයේ නෝබට් සේනාධීරද මරණයට පත්වූහ.

බෝම්බ පිපිරීමෙන් පසු පැවැති හදිසි නීති විවාදයේදී පක්ෂ නායක එකඟතාව බිඳිමින් එකල අක්මීමන මන්ත්‍රී රිචඞ් පතිරණ හැසිරෙන බැවින් වහා ඔහු නම් කිරීමට කථානායක  ඊ. ඇල්. සේනානායක මහතා නියෝග කළේය.

පොලිසිය රිචඞ් ඉවත් කළ කළ පසු දකුණේ ප්‍රබලයා වු බද්දේගම අමරසිරි දොඩංගොඩ ආණ්ඩුවට බැණ වැදුණේ ‘මිනීමරු ආණ්ඩුව ගෙදර පල’ කියාය.

ආනන්ද දසනායක, දිනේෂ් ගුණවර්ධන හා ලක්ෂ්මන් ජයකොඩි ද ඔහුට එක්වුහ. තුන් හතර දෙනාම ඉවත් කිරීමේ යෝජනාව උතුරු කොළඹ  යූ.ඇන්පී. මන්ත්‍රී වින්සන්ට් පෙරේරා ඇමැතිවරයා ගෙන ආ අතර විපක්ෂයේ හූ හඬ මැද පොලිසිය ඔවුන් කරට ගත්හ.
එදා යූ.ඇන්.පීය හයෙන් පහේ ඡන්ද බලය නිසා ප්‍රබල තත්ත්වයක සිටි අතර විපක්ෂයේ සිටියේ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් අට දෙනෙකු පමණි.

ඊළඟට මැදකොළඹ මන්ත්‍රී  හලීම් ඉෂාක් ආණ්ඩුවට එරෙහිව වාග් ප්‍රහාර එල්ල කළේය. හුදෙකලා සටනකින් පසු පොලිසිය ඔහුද කර මතට ගත්හ. විපක්ෂ මන්ත්‍රී ඩිව් ගුණසේකර පමණක් ඉතිරි විය. ඔහු හදිසි නීති පනතට එරෙහි එකම ඡන්දය දුන්නේය.

වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන එදා මැතිසබය තුළ ශ්‍රීලනිපයේ පෙරළිකාර නියෝජිතයෙකි. 1993දී කථානායකගේ අණ නොතකා කතාකළ පළියට ඔහු මැතිසබයෙන් ඉවත් කිරීමට නම් කෙරිණි. වේත්‍රධාරීන් වු රොනි අබේසිංහ සහ විජය පල්ලියගුරු ඔහු කැඳවාගෙන යාමට කතා කළ නමුත් මෛත්‍රීපාල කළේ ඇල්වතුර වීදුරුවක් පානය කර යළි අසුනේ හිඳ ගැනීමය.
මෛත්‍රී ඔහොම ගෙනියන්න බෑ.

උස්සගෙන තමයි යන්න වෙන්නේ’ රිචඞ් පතිරණ කෑගැසීය. ඒ අනුව පොලිස් භටයෝ  14 දෙනක් පැමිණ මෛත්‍රී ඔසවා ගත්හ. එවිට වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා ‘ආණ්ඩුව භංගවේවා’ යැයි කෑගැසු බව හැන්සාඞ් පත්‍රයේ පළවිය.

කාකි වලාකුළකට අසුවූ සුදු සඳක් මෙන් පොලිසියට මැදිවූ සුදු ජාතික ඇඳුම ඇඳ සිටි මෛත්‍රී එදා ගැලරියට පෙනිණි.

එදා මෛත්‍රී සමග ඉවත්කළ මන්ත්‍රීවරුන් තිදෙනෙකි. රිචඞ් පතිරණ, සී.වී. ගුණරත්න හා හිටපු අගමැති එදා මන්ත්‍රී දි.මු. ජයරත්නයන්ය. ඔවුන්ට සතියක් මැතිසබය තහනම් කලාපයක් විය.

වරක් නියෝජ්‍ය කථානායක ගාමිණි ෆොන්සේකාටද මන්ත්‍රීවරු එළියට දැමීමට සිදුවිය. ඒ හිටපු මුස්ලිම් කටයුතු රාජ්‍ය ආමත්‍ය  ඒ.එච්.එම්. අස්වර්වය. අස්වර් දක්ෂ කථිකයෙකි. එහෙත් ඔහු කථානායකයන්ට මහත් හිසරදයක් වූයේ කථිකයන්ට පමණ ඉක්මවා බාධා කිරීම් නිසාය. එය වරක් අවලාදයක්ද තවත් වරක් අපහාසයක් ලෙසද පෙනී ගියේය.

අද සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල එදා ශ්‍රීලනිපයේ දක්ෂතම කථිකයන් කිහිප දෙනා අතරින් කෙනෙකි. ඔහුගේ කතාවට බාධා කිරීම අස්වර්ට නැගුණ චෝදනාව විය. පසුගියදා සභානායක ලක්ෂ්මන් කිරිඇල්ලට තමන්ට හිරිහැරයක් වූ දිනේෂ් ගුණවර්ධන එළියට දැමීමට සිදුවිය.

කිරිඇල්ලගේ කතාවෙන් පසු එස්. සෙල්ලසාමි කතා කිරීමට නැගී සිටියේය. ඔහුට එරෙහිව මන්ත්‍රී අබුබකර් ක්‍රියාත්මක විය. දි.මු. ජයරත්නගේ කථාවට බාධා කළේ මර්වින් ජේ. කුරේ මන්ත්‍රීවරයාය. බාධාකළ වුන් ඉවත් කිරීමට නියෝජ්‍ය කථානායක ගාමිණි පසුබට නොවීය.

ඊළඟට නැගී සිටියේ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේය. වැඩිවෙලා නෑරම ඔහුද සිටියේ පාර්ලිමේන්තුවෙන් පිටතය. පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු එළියට දමා එදා හදිසි නීතිය සම්මත කෙරිණි.

ඇත්ත වශයෙන්ම මෙම උස්සාගෙන යාමේ සම්ප්‍රදාය තුළ එක්තරා මිහිරක් මෙන්ම කූටෝපක්‍රමද ගැබ්ව තිබේ. රටට බලපාන ගැටලු මන්ත්‍රීවරු දකින්නේ තම දෘෂ්ටිකෝණයෙන් වුවත් ඔවුන් මෙහෙය වන්නේ පක්ෂ දේශපාලන බලවතුන් විසිනි.

ඈත ඉතිහාසයට එක්වුණ මෙවන් අවස්ථා රැසකි. පළමුවන රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සිටි අනුරාධපුර මන්ත්‍රී එච්.එම්. ෆ්‍රීමන් 1934 සැප්තැම්බර් 13දා පාර්ලිමේන්තුවෙන් ඉවත් කෙරිණි. දෙවන රාජ්‍ය සභාවේ බිබිල මන්ත්‍රී ඩබ්. දහනායක 1946 ජූලි 02දා ඉවත් කෙරිණි. වව්නියාව මන්ත්‍රී සී. සුන්දරලිංගම් 1950.11.12 සහ 1955.03.31  දාද පිලිප් ගුණවර්ධන 1961 මැයි 18දා සහ අගෝස්තු 17දාද ලෙස්ලි ගුණවර්ධන  හා ටී.බී.එම්. හේරත් 1967.03.20 දාද ඉවත් කෙරිණි.

බෙන්තර ඇල්පිටිය මන්ත්‍රී ඇල්බට් කාරියවසම් 1967.06.04 දාද ගම්පහ එස්.ඩී. බණ්ඩාරනායක 1968.09.16 දාද දහනායක යළි 1974.12.20 දාද මෛත්‍රීපාල සිරිසේනයන් සතියක පාර්ලිමේන්තු තහනමක් සහිතව 1993.02.25 දාද රිචඞ්  පතිරණ මෛත්‍රී, සි.වී. ගුණරත්න, දි.මු. ජයරත්න 1994.01.18 දාද ඉවත් කෙරිණි.

මෑත යුගයේ 1999දී දි.මු. ජයරත්න ද 2007 දී එස්. ගජේන්ද්‍රන් මෙන්ම 2011 ඔක්තෝබර් 06දා දයාසිරි ජයසේකර ද 2011.11.29 දා සරණ ගුණවර්ධනද දොට්ට දැමු පෙරළිකාර මහජන නියෝජිතයෝ වූහ.

more recommended stories

%d bloggers like this: