බෙල්ලන්විල හිමි අපවත්වුණේ රටට අවැසිම මොහොතක බව ජනපති කියයි

ධර්ම ශාස්ත්‍රීය ඥානය ගැඹුරින් ප්‍රගුණ කරමින් එම දැනුමෙන් කාලීන අර්බුධ විසඳිය යුතු පිලිවෙත අති පූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමිපාණන් වහන්සේ දැන සිටි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. උන් වහන්සේගේ අපවත්වීම වෙනුවෙන් ශෝක පණිවුඩයක් නිකුත් කරමිනුයි ජනාධිපතිතුමා මේ බව සඳහන්කර ඇත්තේ.

ඓතිහාසික බෙල්ලන්විල රජ මහා විහාරාධිකාරී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති ශාමෝපාලී වංශික මහානිකායේ කෝට්ටේ පාර්ශ්වයේ අනුනායක ධුරන්ධර අතිපූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන ස්වාමීන්වහන්සේගේ හදිසි අපවත්වීම සැලව තමන් සාතිශය සංවේගපාත්‍ර වූ බව ජනාධිපතිතුමා පවසනවා. මෑත කාලීන සංඝ ශාසනයේ සුවිශේෂී භූමිකාවක් හෙබවූ නාහිමිපාණන් වහන්සේ සිය දශක හයක පැවිදි ජීවිතය අපේ ශාසන වංශ කතාව තුළ ප්‍රමුඛ පරිච්ඡේදයක් පුරා පැතිරෙන ගැඹුරු කියවීමක් බවට පත්කරනුයේ වියත්බවින් පිරිපුන් දැක්ම සමාජයීය පරිනතභාවය කෙරෙන් ලත් අවබෝධය ද මුසුකර ගනිමින්. එහෙයින් කවර කරුණක් අරඹයා වුවද නාහිමිපාණන් වහන්සේ දැක්වූ ප්‍රතිචාරය තාර්කික බුද්ධිගෝචර මෙන්ම විද්‍යාත්මක බවයි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසන්නේ. එවන් විදග්ධ බව ලද හැක්කේ බුදු දහමේ ගැඹුරු හර පද්ධතිය මනාව සියුම් ලෙස අභ්‍යාස කිරීමේ ප්‍රතිඵලයක් ලෙසයි. අතිපූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමිපාණන් වහන්සේ අපවත්වී වදාළේ අප රටට උත්තුංග දැක්වෙන් යුතු බුද්ධ පුත්‍රයන් වහන්සේලා අවැසිම සමයක බවයි ජනාධිපතිතුමා පෙන්වා දෙන්නේ. නිබඳව රටට තමන් වෙතින් විය යුතු මෙහෙවර පිළිබඳ අවධි මනසකින් වැඩ විසූ ගෞරවනීය බෙල්ලන්විල විමලරතන නාහිමිපාණන්ට උතුම් වූ නිර්වාණ සම්පත්තිය අත්වේවායි නමස්කාර පූර්වකව ප්‍රාර්ථනා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිය ශෝක පණිවුඩයෙන් සඳහන්කර තිබෙනවා.

more recommended stories

%d bloggers like this: