මන්ත්‍රී නාමල්ට එරෙහි ගවර්ස් කෝපරේට් නඩුව 16 වැනිදා විභාග කිරීමට දින දෙයි..

නීති විරෝධිව උපයාගත්තැයි පැවසෙන රුපියල් මිලියන 30ක මුදලක් ගවර්ස් කෝපරේට් නමැති සමාගමක ආයෝජනය කිරීම තුලින් මුදල් විශුද්ධිකරණ පනත යටතේ වරදක් සිදු කළේ යැයි යන චෝදනාවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හයදෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුව මේ මස 16 වන දා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද (06) දින නියම කළේය.

අදාළ නඩුව අද කැඳවු අවස්ථාවේ රජයේ නීතිඥවරයා සඳහන් කර සිටියේ විත්ති පාර්ශ්වය ලබාදිය යුතු ලේඛන ඉදිරියේදී ලබා දීමට පියවර ගන්නා බවය.

ඊට විරෝධය පලකල විත්ති පාර්ශවයේ නීතිඥවරුන් නඩු විභාගය ලබන 16 වන දාට නියම කර තිබියදී අදාළ ලේඛන තමන් වෙත මෙතෙක් නො ලැබී තිබීම නිසා නඩු විභාගයට සූදානම්වීම සඳහා තමන්ට ප්‍රමාණවත් කාලයක් නොමැති බව අධිකරණය වෙත දන්වා සිටියේය.

ඊට ප්‍රතිචාර වශයෙන් විනිසුරුවරයා කියා සිටියේ යළි විභාගය ලබන 16 වන දා කැඳවන බවත් එදිනට මේ සම්බන්ධයෙන් කරුණු සලකා බලන බවද අධිකරණය විත්තියේ නීතිඥවරුන් ට දැනුම් දුන්නේය.

මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස ඉන්දික ප්‍රභාත් කරුණාජීව, සුජානි බෝගොල්ලාගම, ඉරේෂා සිල්වා ,නිත්යා සේනානි සමරනායක සහ ගවර්ස් කෝපරේට් සමාගම නම් කර තිබේ.

මෙම නඩුවේ දෙවන විත්තිකරු ලෙස නම් කර සිටින ඉන්දික ප්‍රභාත් කරුණාජීව නැමැත්තා මේ වන විට අධිකරණය මගහැර විදේශගතව සිටින අතර ඔහු නොමැතිව නඩු විභාගය පැවැත්වීමට ද අධිකරණය තීන්දු කළේය.

DE සිල්වා

more recommended stories

%d bloggers like this: