රුවන්වැලි සෑයේ ආශ්චර්යන් නෑ කියන අයට මෙන්න පිළිතුර!

වෙසක් පුන් පොහෝ දිනයෙහි මහාසෑය කරවන්නට සූදානම් වී මුල්වැඩ අරඹන ලද්දේ ය. එහිදී මහසෑ බිමෙහි පිහිටි එක්තරා රන්තෙලඹු ගසක් ඉවත් කළ යුතු වුයේ ය. එකල්හී එහි විමන් තනා සිටි ස්වර්ණමාලී නම් පිනැති දෙව්දුවක් රහතන් වහන්සේලා මුණ ගැසී ඇගේ දිව්‍ය විමානය පිහිටි රන්තෙලඹු ගස ඉවත්නොකරන්නැයි ඉල්ලා සිටියා ය. එවිට රහතන් වහන්සේලා ඒ දෙවඟන හට මහාස්ථූපයේ ආනුභාව ගැන පවසා වෙන විමානයකට යන්නට සුදුසු රුකක් පෙන්වා දුන් සේක.

ස්වර්ණමාලී දෙව්දුව රහතුන්ගේ ආයාචනයට සතුටු වී රන්තෙලඹු ගසින් ඉවත්ව වෙන විමානයකට යන්නට කැමැත්ත පළ කොට සිටියා ය. නැවත ඕතොමෝ තමාගේ නාමයෙන් මහා සෑය බඳිනා සේක්වායැයි රහතන් වහන්සේලාගෙන් ඉල්ලා සිටියා ය. එකල්හී ඇයගේ ඉල්ලීමට සවන් දුන් රහතන් වහන්සේලා ස්වර්ණමාලී යන නාමය සහිතව මහාස්ථුපය කරවීම සුදුසු යැයි දුටුගැමුණු රජතුමා හට දැනුම් දුන්නාහු ය.

සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව රටවල් අටක නරපතියන් විසින් සෑම රටකටම ධාතූන් වහන්සේලා නැලි දෙක බැගින් ගෙනනොස් ස්ථූපවල නිදන් කරවා වන්දනාමාන කරන ලදී. රාමාගම ග්‍රාමයේ නිදන් කර තිබූ ධාතූන් වහන්සේලා සහිත නැලි දෙක බුදුන් වහන්සේගේ අධිෂ්ඨානයට අනුව රුවන්වැලි මහා ස්ථූපයේ නිධාපිත කරන්නට නියම කෙරිනි. ඇසළ පුන් පොහෝ දින උත්තරාසීහ නැකතින් මහා ස්ථූපයේ ධාතු නිධානය කිරීමට නිල උත්සවයක් සංවිධානය කළ දුටුගැමුණු රජතුමා, පුන් පොහෝ දිනට පෙර දින සංඝ රත්නය මුණගැසී වැඳ නමස්කාර කොට, පසු දිනය ධාතු නිධාපිත කිරීමට සූදානම් කර ඇති බවට මතක් කරමින් ධාතූන් වහන්සේලා රැගෙන එන ලෙස ඉල්ලා සිටියේය.

දුටුගැමුණු නරනිඳු තෙමේ ධාතු නිධානය පිණිස සියළු කෘතයන් විධාන කොට විහාර මාර්ගය අලංකාර ලෙස සරසා අනුරාධපුර නගරය දෙව් විමනක් මෙන් සරසා ධාතු පූජාවට සූදානම් වූයේය. ශක්‍ර දේවේන්ද්‍ර තෙමේ විශ්ව කර්ම දිව්‍ය පුත්‍රයා කැදවා සකල ලංකාද්වීපයම අනේකාකාරයෙන් සැරසවුයේ ය.

සංඝයා වහන්සේගේ විධානයෙන් පසුව සෝඋත්තර නම්වූ රහතන් වහන්සේ සෘද්ධි බලයෙන් ධාතූන් වහන්සේලා රැගෙන වැඩම කළහ. ඉන් ඉක්බිති සංඝයා වහන්සේගෙන් ධාතූන් වහන්සේලා පිළිගත් දුටුගැමුණු රජතුමා, එය රත්‍රන් මංජුසාවක බහා තම හිස මතට ගෙන, අනේක විධ දක්ෂිණ හා උපහාරත්, දිව්‍ය සහ බ්‍රහ්මයන්ගේ ගරු බුහුමන් මධ්‍යයේ ස්වර්ණමය මණ්ඩපයෙන් පිටත් විය.ඔහු, තුන්වරක් ධාතු මැදිරිය වටා පැදකුණු කොට නැගෙනහිර දිශාවෙන් ඇතුල් වී උතුරු දෙසට මුහුණලා පිළියෙල කර තිබූ රිදී සයනයක ධාතු මංජුසාව තැන්පත් කළ විට බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨාන බලයෙන් සිංහසෙ‍යාවෙන් බුදු පිළිරුවක් හටගෙන සියලුම ධාතූන් වහන්සේලා ඒ ප්‍රතිමාව තුල නිධන්ගත වූහ. ධාතූන් වහන්සේලා රුවන්වැලි මහා ස්ථූපයේ නිධන්ගත වීම සම්පූර්ණ වූ පසු, උත්තර සහ සුමන සාමණේරයන් වහන්සේලා විසින් පියනක් ලෙස පසුව පාවිච්චි කිරීම සඳහා කලින් සඟවා තිබූ ගල් ආවරණයකින් ධාතු ගර්භය වසා දමන ලදී.

“ධාතු ගර්භය භූමිකම්පාවකින් වුවද නොසෙල්වේවා ; එදින පූජා කළ පිච්ච මල් ආදී මල් වර්ග ගෞතම බුද්ධ ශාසනය අවසන් වන තුරු මැල නොවේවා;ගිතෙල් වලින් දල්වන ලද පහන් නොනිමේවා; සඳුන් සහ සුවඳ විලවුන් මිශ්‍ර කරන ලද පස් වියළී නොයේවා; ධාතු ගර්භයේ එකදු සීරීමක් වත් නොවේවා; පූජා කළ රත්‍රන් භාණ්ඩවල මල නොබැඳේවා” මේ සියලු ප්‍රාර්ථනා මෙම උත්සවයට වැඩම කර සිටි රහතන් වහන්සේලාගේ අධිෂ්ඨාන බලයෙන් සඵල විය.ඔවුන් “සතුරන්ට වත් මේ ධාතු ගර්භය දකින්නට පවා නොලැබේවායි” අධිෂ්ඨාන කළහ. තවද දුටුගැමුණු රජතුමාගේ නියෝගය පරිදි බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ඇතුලත් රන් හා රිදී මංජුසාද තවත් බොහෝ වස්තූන්ද ධාතු ගර්භය මත නිදන් කෙරිණි.

සිත්තසේන රහතන් වහන්සේ මහා සෑය වටා ඇඳ තිබූ සීමා රේඛාවේ නැගෙනහිර ප්‍රදේශයේ සුවඳැති ලාටු පිඩක් තැන්පත් කළේය.ජයසේන රහතන් වහන්සේ උත්තරසීහ සහ සුපටින්හිත තාරකා මණ්ඩලය යටතේ ඒ මත පිරිත් පැන් ඉසින විට උත්සව මංගල්‍යය භාර අමාත්‍යවරයා ඉසින ලද පිරිත් පැන් මත රන් ගඩොල් සහ අධික ලෙස ධනය වැයකොට කරන ලද පූජාවන් තැන්පත් කළේය.ජනප්‍රවාදයේ සඳහන් පරිදි මේ අවස්ථාවේදී දෙලක්ෂ හැත්තෑදහසක් යොදුන් වූ දෙරණ තලය ගිගුම් දෙමින් කම්පා විය.

ඔහු ඔහුගේ පුතුන් ලවා මේ ආකාරයෙන් මහා ස්ථූපයේ අනෙකුත් දිසා සතෙහිද රන් ගඩොල් තැන්පත් කරවන ලදී.ඉන් පසුව මළුවේ සතර දිසාවේ වැඩ සිටි රහතන් වහන්සේලාට පිරිකරාදිය පූජා කළ දුටුගැමුණු රජතුමා ඇතුළු ජනතාව පියදස්සී මහ රහතන් වහන්සේගෙන් ධර්මය ශ්‍රවණය කිරීම සඳහා අසුන් ගත්හ.එම ධර්මය ශ්‍රවණය කිරීමෙන් හතළිස්දහසක් පිරිස අරහත් භාවයට පත් විය.හතළිස්දහසක් පිරිස සෝවාන් ඵලයට පත් විය.දහසක් පිරිස සකෘදාගාමී තත්වයටත් තවත් දහසක පිරිසක් අනාගාමී තත්වයටත් පත් විය.

අද්විතීය රුවන්වැලි මහා සෑය හතරැස් කොත් දහය දක්වා රහතුන් වහන්සේලාගේ ආරක්ෂක සූත්‍ර සඡ්ජායනා මධ්‍යයේ නිමවෙද්දී, විසි සතර වසරක් ලක්දිව පාලනය කළ දුටුගැමුණු රජු, ඔහු විසින් කරන ලද පින් ඇතුළත් පොත කියවා මහා සෑය දෙස බලා සිටියදී මියැදී දිව්‍ය පුත්‍රයකුව තුසිත දෙව්ලොව උපත ලද්දේය. දුටුගැමුණු රජුගේ සහෝදර සද්ධාතිස්ස රජතුමා සෑයේ ඉතිරි වැඩ කොටස නිමකර, මරණයෙන් පසු තුසිත දෙව්ලොව උපන්නේය.

අනාගත මෛත්‍රී බුද්ධ ශාසනයේ දුටුගැමුණු රජු, බුදුරදුන්ගේ දකුණු අගසව් බවට පත්වනු ඇත.සද්ධාතිස්ස රජු වම් අගසව් බවට පත්වනු ඇත.කාවන්තිස්ස හා විහාර මහා දේවිය මෛත්‍රී බුදුන්ගේ දෙමාපියන් බවට පත්වනු ඇත.කාවන්තිස්ස රජුගේ බාල නැගණිය වන අනුලා කුමරිය මෛත්‍රී බෝසතුන්ගේ අග මෙහෙසිය බවට පත්වනු ඇත.සාලිය කුමරු මෛත්‍රී බෝසතුන්ගේ පුතු බවට පත්වනු ඇත.දුටුගැමුණු රජුගේ භාණ්ඩාගාරයේ ඇමති සනොඟා, මෛත්‍රී බෝසතුන්ගේ අග්‍ර උපස්ථායක වනු ඇත.භාණ්ඩාගාරය භාර ඇමතිවරයාගේ දියණිය අග්‍ර උපස්ථායිකාව වනු ඇත.

-නිර්වාණය

ශ්‍රී ලංකාව අමිල වූ පූජනීය වස්තූන් රාශියකට හිමිකම් කියන දිවයිනකි. ඒ අතරින් අප රට සතු පූජනීයම වස්තුවක් ලෙස රුවන්වැලි සෑ රජාණන් වහන්සේ සැලකිය හැකියි. බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණ 8ක් වූ ධාතූන් වහන්සේලාගෙන් එක් ද්‍රෝණයක් තැන්පත් කර අනුරාධපුරයේ ඉදි කර ඇති මෙම සෑ රජාණන් වහන්සේ දුටුගැමුණු මහ රජතුමාගේ නිර්මාණයකි. මෙරට සියළුම බෞද්ධයින් රුවන්වැලි සෑ රජු ගැන බොහෝ විස්තර දැන සිටින අතර මෙම සටහනින් ඔබ නොඇසූ අප්‍රකට කරුණු රැසක් දැනගත හැකිවනු ඇත.

රුවන්වැලි මහා සෑය එම ස්ථානයේ රියන් 120ක් උසින් ඉදිවන බව මිහිදු මහ රහතන් වහන්සේ විසින් දෙවනපෑතිස් රජුට පවසා ඇති බව මහාවංශයෙහි සඳහන් වේ. එය ඉදිකිරීමට සුදුසු ස්ථානය දේවානම් පියතිස්ස රජු විසින් ස්ථම්භයක් ඉදිකොට සලකුණු කර තබා ඇත. එළාර රජු සමඟ යුද්ධයෙන් ජයග්‍රහණය කළ දුටු ගැමුණු මහ රජු තම මුත්තනුවන් මිහිදු හිමියන්ගේ අනාවැකියෙන් පසු ස්ථාපනය කළ ස්ථම්භය පිහිටි ස්ථානයේ රුවන්වැලි මහ සෑය නිමවා ඇත.

මෙසේ සෑයේ අඩි තාලම සාදවා, සෑයට මුල්ගල් තබා ඇත්තේ ඇසළ පුර පසළොස්වක පෝය දිනයකය. එම උත්සවයට රහතන් වහන්සේලා අනූහය කෝටියක් අහසින් වැඩම කළ බව ථූප වංශයෙහි සඳහන් කර ඇත. ආසියාව, මැදපෙරදිග රටවල් විශාල ප්‍රමාණයකින් මුල්ගල් තැබීමේ උත්සවයට රහතන් වහන්සේලා සහභාගී වීම එකළ සිංහල දේශය ලොව පතලව පැවතීමට හොඳම සාධකයක් ලෙස සැලකිය හැකියි.

මේ දාගැබ බඳින්නට සුදුසු නිර්මාණකරුවෙක් සොයා ගැනීමද රසවත් කථාවකි. දුටුගැමුණු රජතුමා රට පුරා අඬබෙර යැවීමෙන් පසු නිර්මාණකරුවන් 500ක් පමණ දාගැබ බැදීමේ වගකීම ගැනීමට පැමිණ සිටියත්, ඒ කිසිවකුගේ අදහසකට රජුගේ සිතෙහි ප්‍රසාධයක් ඇති නොවීය. එහෙත් එක් තරුණ නිර්මාණකරුවකුගේ පැහැදිලි කිරීමට එතුමා පැහැදුණේය. පසුව ඔහුගෙන් දාගැබ බැදීමට සුදුසු හැඩය විමසා සිටිය අතර එවිට නිර්මාණකරුගේ ශරීරයට ආවේශ වූ විශ්ව කර්ම දිව්‍ය පුත්‍රයා දිය තලියක නැගෙන දිය බුබුලක් පෙන්වා එම හැඩය සුදුසු යැයිද, දිය බුබුළ අනිත්‍ය බව පසක් කරන හොඳම සාධකයක් යැයිද පවසා සිටියා. එයින් ඉතාමත් සතුටට පත් රජු නිර්මාණකරුවාට තෑගි බෝග පිරිනමා සෑය ගොඩ නඟන වගකීම ඔහුට භාරදුන් බව පැවසෙයි.

දාගැඛෙහි පහල පේසා වළලූ 3 නිම කිරීමට ගඩොල් කෝටි 10ක් වැය වූ බව ථූපවංශයෙහි සඳහන් කර ඇත. සෑයක් නිම කිරීමට වැඩිපුරම අවශ්‍ය වන ගඩොල් සෙයාගන්නේ කෙසේදැයි රජු හට විශාල ගැටළුක් ව තිබුණේ එතුමා කිසිවිටෙක යුද්ධයක් නිම කර විඩාවට පත්වී සිටි ජනතාවට මෙම වගකීම පැවරීමට ඇකමැති වීම නිසයි. මේ සිතුවිල්ල දැනගත් දෙවඟනක් එය දෙව්ලොව පුරා දෙවි වරුන්ට දැන ගැනීමට සැලැස්විය. මෙය දැනගත්  විශ්වකර්ම පුත්‍රයා මල්වතු ඔයෙහි නිම්නයේ ගඩොල් මැවූ බවත් ථූප වංශයෙහි සඳහන් වේ. මීට අමතරව සෑයට අවශ්‍ය රන් අවුරුවිනී ග්‍රාමයෙන් ද, රිදී නැමැති ගල් ගුහාවෙන් රිදී ද, තම්බපින්න ග්‍රාමයෙන් තඹ ද සමන්වැව ග්‍රාමයෙන් මැණික් ද, උරුවෙල් නම් කුඩා නගරයෙන් නෙල්ලි ගෙඩියක ප්‍රමාණයේ වූ මුතු සහ පබලූ ද, පැලවාපි ග්‍රාමයෙන් විශාල ප්‍රමාණයේ මාණික්‍යය සතරක් ද ලබා ගත් බව සඳහන්.

රුවන්වැලි මහා සෑයට ධාතූන් වහන්සේලා ලැබෙන අයුරු බුදුරජාණන් වහන්සේ විසින්ම කුසිනාරා නුවර සල් උයනේදී සක්දෙව් රජු කැඳවා පවසා තිබෙන බවත් පැවසෙයි. ‘‘මාගේ අට ද්‍රෝණයක පමණ ධාතූන්වහන්සේලා අතුරෙන් එක් ද්‍රොණයක් පමණ ධාතූහු කෝලිය රජ දරුවන් විසින් පුදු පූජා කරණු ලබන්නොහ. ඒ ධාතු ද්‍රෝණය එන දවස ලංකාද්වීපයෙහි රුවන්මැලි නම් දාගැබෙක්හි පිහිටන්නේය“ යි වදාළ සේක. බුදුරජාණන් වහන්සේගේ පිරිනිවනෙන් පසු රාම ග්‍රාමයෙහි කෝලිය රජ දරුවන් ධාතූන් වහන්සේලා තැන්පත් කර නිමවූ දාගැබ පසු කළෙක මහ වැස්සකින් විනාශ වී එහි ධාතූන් වහන්සේ තැන්පත් කරඬුව මහා සාගරයට ගසාගොස් මහා කෙළ නම් නා රජුන්ට හමුවී තිබේ. සෝණුත්තර නම් සාමණේරයන් වහන්සේ විසින් නාලොවට වැඩම කොට නා රජුගේ උපායන්ගෙන් මිදී වාසුලදත්ත නම් නාගයාගේ කුසෙහි සඟවාගෙන තිඛෙන බව දැනගෙන, උන්වහන්සේ සතු සෘද්ධි බලයෙන් කුඩා අතක් මවාගෙන මහාමේර පර්වතය පාමුල සිටි වාසුලදත්තගේ කටට අත පොවා ද්‍රෝණයක් ධාතූන් වහන්සේ සහිත කරඬුව ගෙන පැමිණි බවයි සඳහන් වන්නේ.

දුටුගැමුණු මහරජතුමා මහ සෑය ඉදිරිකිරීම ආරම්භ කළත් එතුමාට සෑය සාදා නිම වන තුරු ජීවත් වීමට හැකි නොවුණි. ධාතු නිධානෝත්සවයෙන් පසු  හතරැස්කොටුව දක්වා එතුමා විසින් මහ සෑය නිම කිරීමට සමත් විය. රජු මරණ මංචකයේ සිටියදී එතුමාගේ බාල සොයුරු සද්ධාතිස්ස කුමරු විසින් රෙදි වලින් කොත් කැරුල්ල නිමවා සෑය සාදා නිම කර ඇති ලෙස දුටුගැමුණු මහ රජුට පෙනෙන්නට සළස්වා ඇත. පසුව මහ සෑය සාදා නිම කළේ සද්ධා තිස්ස රජතුමා විසිනි.

රුවන්වැලි සෑයේ වැඩ අරඹා ඇත්තේ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයකයි. මුලින්ම සෑය ඉදිකිරන භූමිය සමතලා කරන ලදී. ඉන්පසු එය රියන් හතක ගැඹුරට කැණ එහි වක්‍රාකාර ගල් අතුරන ලදී.  එම ගල් මිටියෙන් කඩා ඉන්පසු එය ඇතුන් ලවා පාගවන ලදී. එම ගල් ස්ථරය මත ගඩොල්ද, ගඩොල් මත රළු බදාමද, රළු බදාමය මත තිරුවාණද,තිරුවාණ මත යකඩ ජාලයක්ද, යකඩ ජාලය මත සුවඳැති මැටිද,සුවඳැති මැට්ට මත සුදු පාෂාණද, සුදු පාෂාණ මත සෙල් පිලිමිණිද, ඒ මත ගල් පුවරුද අතුරවන ලදී. ඉන්පසු රසදිය, අලිගැටපේර ලාටු හා පදම් මැටි එක්කර මිශ්‍රණයක් සාදවා ගල් පුවරු ඒ මත අතුරුවා, ඒ මත අඟල් අටක ඝනකම් ඇති ලෝකඩ පත් අතුරවන ලදී.එම ලෝකඩ පත් මත ආසනියම් හා තල තෙල් එකට මිශ්‍ර කර අතුරවා ඒ මත අඟල් හතරක් ඝනැති රිදී පත් තැන්පත් කරවන ලදී.

more recommended stories

%d bloggers like this: