”සොඳුරු සැරිසර සක්වල පියස දිගේ” කෘතිය දොරට වඩී

චීනයේ සහ ටිබෙට් කලාපයේ සමාජ, දේශපාලන හා ආර්ථික තොරතුරු ඇතුලත් සොඳුරු සැරිසර සක්වල පියස දිගේ කෘතිය එළිදැක්වීම චීනයේ බෙයිජිං නුවර දී අද සිදු කෙරුණා. මෙම කෘතිය රචනා කළේ ITN මාධ්‍ය ජාලයේ සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටි මහතායි.චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටු ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවයි උත්සවය සංවිධාන කළේ. කෘතිය එළිදැක්වීමේ උත්සවයට අමාත්‍ය ගයන්ත කරුණාතිලක, චීන කොමියුනිස්ට් පක්ෂ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් යුඅන් ෂ බින් යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ විශේෂ සුබ පැතුම් පණිවිඩය මෙහිදී ඉදිරිපත් කළේ චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු මහතායි.

උත්සවය ඇමතූ චීන කොමියුනිස්ට් පක්ෂ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් යුඅන් ෂ බින් මහතා චීනය හා ශ්‍රී ලංකාව අතර සංස්කෘතික දූත මෙහෙවරක නිරත සමන් අතාවුදහෙට්ටි මහතාට චීන ජනතාවගේ සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ ගෞරවය හිමිවන බව ප්‍රකාශ කළා. ටිබෙට් ස්වායන්තය පිළිබඳ සැබෑ චිත්‍රයක් පාඨකයා වෙත පිරිනැමීමට කටයුතු කළ අතාවුදහෙට්ටි මහතාට ස්තූතිය පලකරන බවයි මෙහිදී අදහස් දැක්වූ ටිබෙට් ස්වායන්ත කලාපයේ චීන කොමියුනිස්ට් පක්ෂ ප්‍රචාර දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ටං ෂියන්වෙන් මහතා කියාසිටියේ. එමෙන්ම තානාපතිවරුන් කොමියුනිස්ට් පක්ෂ නිලධාරීන් ප්‍රකාශන ආයතන හා මාධ්‍ය ආයතන නියෝජිතයන් ද උත්සවයට සහභාගිවී සිටියා. සඳනි විජේතුංග ගේ ගායනයෙන් කෘතිය එළිදැක්වීමේ උත්සවය විචිත්‍රවත් වුණා.

%d bloggers like this: