සුනාමියට සැඟව ගිය අංක 8050 දුම්රියේ කඳුලු කතාව…

ලංකාවට සිද්ධ වුන බිහිසුණුම අනතුර වෙලා අදට අවුරුදු 13ක්. ‘සුනාමි’ කියන වචනේ ශ්‍රී ලංකාවේ අපි ඇහුවෙත් 2004 අවුරුද්දේදී. එදා තමයි ලංකාවේ සිද්ධ වුන බිහිසුණම දුම්රිය අනතුර සිද්ධ වුනෙත්. ඉතින් දුම්රියට ආදරය කරන Facebook මිතුරෙක් ඒ අනතුරෙන් අහිමිවුණ දුම්රිය ගැන අපූරු Facebook සටහනක් අද උදේම තියලා තිබුනා. මේ සටහන කියවද්දී ඔබට හිතේවි මියැදුණු ජිවිත වගේම පණ නැති දේවල් වලටත් දැනුණු පීඩනය කොච්චරද කියල. මේ තියෙන්නේ ඒ කතාව.

උපුටාගැනීම ශශින් විජේතුංග ගේ Facebook සටහනින්.

මචං මැනිටොබා මොකද අද පාන්දරම නැගිටලා…

ඔව් බන් අද නොම්බර 8050 අරන් උදේම මාතර යනවා ඒකයි මේ ලෑස්ති ……

දෙමටගොඩ දුම්රිය ධාවනාගාරයේ ලහි ලහියේ මැනිටොබා සැරසුනේ නත්තල් දිනට පසුදින තම රාජකාරිය සඳහා පිටත්ව යාමටයි…

2004 දෙසැම්බර් 26 ලංකාවේ විතරක් නෙවෙයි මුලු ලෝකයාම කම්පා කරවු දවසක් ..

මැනිටොබා තම දුක්බර මතක සටහන අවදි කලේ මෙසේය..

” එදා මම රනින් ශෙඩ් එකෙන් ලෑස්ති වෙලා පෙට්ටි ටිකත් අරගෙන මරදානට ගියේ උදේ 6:55ට අංක 8050 දුම්රිය අරන් මාතර යන්න..
පෙරදින නත්තල් දවස හින්දත් අද නිවාඩු දවසක් හින්දත් වෙනදට වඩා සෙනගක් කෝච්චියේ යන්න හිටියා…

සංඥාව ලැබුණු විගස මම 8050 අරන් මාතර බලා යන්නට පිටත් උනේ සියලු දෙවි දේවතාවන්ගේ ආරක්ෂාව රැකවරණය මැද කෝච්චියේ ඉන්න දහසකුත් අහිංසක මගියන් පරිස්සමෙන් ගමනාන්තය බලා රැගෙන යන පරමාර්ථය මතයි…

බම්බලපිටිය , වැල්ලවත්ත, දෙහිවල , ගල්කිස්ස මුහුදු තීර ලගින් යනකොට මට දැණුනේ මුහුදේ වෙනදට වඩා අමුතුම වෙනසක් තියනවා කියලා ..
මොකක්දෝ අමුත්තක් මට මුහුදේ දැණුනා…

සුන්දර මුහුදු තීරය පසුරමින්
ඇදුනත් මැනිටොබා දැන සිටියේ නෑ තමන්ට අත්වීමට යන බිහිසුණු ඉරණම……

මේ ඒ කතාවයි…..

වෙනදට නම් රුහුණු කුමාරි එනකල් දකුණු කළුතර තියාගන්න කෝච්චිය එදා දකුණු පයාගලට යැව්වෙ 50 කෝච්චිය හරි වෙලාවටම ආපු නිසයි. අලුත්ගම ‘සාගරිකා’ දුම්රිය එනකල් තියාගන්න අපේ දුම්රිය එදා ඉඳුරුවටම ගියා. කවදාවත් නැති විදිහට වේලාවටම කෝච්චිය ගමන් කරන්න මට පුලුවන් උනා. අම්බලන්ගොඩින් හරි වේලාවට මම පිටත් වුණා. කෝච්චිය හරි වේලාවට ගිය එක ගැන මට ලොකු සතුටක් දැනුණා. ඒත් ඒ සතුට තිබ්බෙ කොච්චර සුළු වේලාවක් ද…?’

මැනිටොබා…තම මතකය අදටත් සුසුම් ලෑවේ එසේය…

මේ එදා 50 දුම්රියේ නියාමක මහතාගෙ අතීත ආවර්ජනය…

‘මම ඒ දවස්වල වැඩ කෙළේ ගාල්ල ධාවනාගාරයේ. නත්තල් දවසෙ කොළඹට ආපු මම පසුදින උදෑසන 6.50 ට කොළඹ කොටුවෙන් මාතර බලා ගිය අංක 50 ශීඝ්‍රගාමී දුම්රියේ ප්‍රධාන නියාමකවරයා හැටියට වැඩ කරා’

එදින දුම්රියේ රියැදුරා වූයේ එම්. බී. ජනක ප්‍රනාන්දු මහතාය. ඉතා පළපුරුදු දුම්රිය එන්ජින් රියැදුරකු වූ ඒ මහතා මරදාන දුම්රිය ස්ථානයෙන් හා කොළඹ කොටුවෙන් නියමිත වේලාවට දුම්රිය ධාවනය ඇරැඹීය. මොරටුව, පාණදුර නිසි වේලාවට පසු කර යාමට ජනක ප්‍රනාන්දු සමත් විය. දකුණු කළුතරට නියමිත වේලාවටම පැමිණි දුම්රියට ඉදිරියට යාමට සංඥාව ලැබුණි. මාතරින් එන ‘රුහුණු කුමාරි’ සුළු පමාවක් තිබුණු හෙයින් හා අංක 50 දුම්රිය නියමිත වේලාවටම පැමිණි හෙයින් මාතර දුම්රිය දකුණු පයාගලදී කොළඹ ඒමට නැවති රුහුණු කුමාරි පසුකර ගියේය. ඊළඟ නැවතුම අළුත්ගමය. ජනක ප්‍රනාන්දුගේ අත්දැකීම් බහුලත්වය නිසාම නියමිත වේලාවටම දුම්රිය අළුත්ගමටත් ළඟා විය.

මාතරින් පැමිණෙන ‘සාගරිකා’ දුම්රිය හමුවන්නේ එතැනදීය. සාගරිකා විනාඩි කිහිපයක් පමා වීම නිසා අළුත්ගම නොනැවතුණු මාතර දුම්රිය එතැනින් ද ඉදිරියට ගියේය. ඉඳුරුව දී සාගරිකා හමු වුවත් ශීඝ්‍රගාමී හෙයින් මාතර දුම්රිය නොනවත්වාම අම්බලන්ගොඩට ගියේය. අම්බලන්ගොඩට දුම්රිය පැමිණීමට නියමිතව තිබුණේ පෙරවරු 9.18 ටයි. ඔරලෝසුවේ හරියටම 9.18 වන විට දුම්රිය අම්බලන්ගොඩ දුම්රිය ස්ථානයට ළඟා විය. සාමාන්‍යයෙන් මාතර දුම්රිය (අංක 50) භාණ්ඩ බෑම සඳහා විනාඩි 5 ක් 7 ක් පමණ අම්බලන්ගොඩ නවත්වා තබා ගනී. එහෙත් එදින දුම්රිය අම්බලන්ගොඩ එතරම් වේලා නවත්වා ගැනීමට අවශ්‍ය නොවන බව පෙනුණි. ඒ දුම්රියෙන් බෑමට තිබුණේ කිරි හට්ටි 15 ක් 20 ක් පමණක් වන හෙයිනි. දුම්රිය ස්ථානාධිපතිවරයා උප නියාමක මැදිරිය අසලට ගියේ භාණ්ඩ බෑම අධීක්ෂණය කිරීම සඳහාය.

මේ අවස්ථාව වන විට ලංකාවේ මුහුදුබඩ පළාත් විනාශ කරමින් මහා සුනාමියක් පැමිණෙමින් තිබිණි. මරදානේ ප්‍රධාන දුම්රිය පාලක මැදිරියට ද එම පණිවුඩය ලැබිණි.

ඒ වන විට දුම්රියයන් 7 ක් ලංකාවේ මුහුදුබඩ මාර්ග අසලින් ධාවනය විය. අම්බලන්ගොඩ, ගාල්ල, අඟුලාන, පාණදුර, කඹුරුගමුව වැනි ප්‍රදේශවල මෙසේ දුම්රියයන් 7 ක් අවදානම් කලාපයන්හි ධාවනය විය. මරදාන දුම්රිය පාලක මැදිරිය වහ වහා එම දුම්රියයන් ආරක්ෂිත ස්ථානයන්හි නවත්වා තබන්නැයි උපදෙස් දුන්නේය. අම්බලන්ගොඩට ද පණිවුඩය ආ මුත් ඊට පිළිතුරු සැපයීමට අයෙක් නොවීය. ස්ථානාධිපතිවරයා භාණ්ඩ බෑම අධීක්ෂණය කෙළේය. භාණ්ඩ බෑමෙන් මඟීන් බැසීමෙන් නැඟීමෙන් පසු දුම්රිය මාතර බලා පිටත් විය. ඒ හරියටම 9.21 ටය. මඟීන් දහස් ගණනක් තමන් මේ යන්නේ අවසන් ගමන බව නොදැන සිටියහ.

දුම්රිය පිටත්ව ගිය පසු ස්ථානාධිපතිවරයා තම කාමරයට ආවේය. පාලක මැදිරියේ විශේෂ සංඥා සහිත දුරකතනය ඒ වන විටත් නාද දෙමින් තිබිණි…

‘අම්බලන්ගොඩ…’

‘මරදාන පාලක මැදිරියෙන් අමතන්නෙ, මුහුද ගොඩ ගලනවා, මහ විනාශයක්… අංක 50 දුම්රිය පිටත් කරන්න එපා’

‘දෙවියනේ…’ දුම්රිය ඒ වන විට පිටත්ව ගොසිනි. ඊළඟ දුම්රිය ස්ථානය වන කහව දුම්රිය ස්ථානයට හෝ ඇමතුමක් දී දුම්රිය නවත්වා ගැනීමට හෝ ඒ වන විට හැකියාවක් නොතිබුණි. දුම්රිය වේගයෙන් ඉදිරියට ඇදී ගියේය.

කහ සංඥාව තිබුණෙ. සාමාන්‍යයෙන් එහෙම වෙන්නෙ නැහැ. ඊළඟ සංඥා කුලුනෙ රතු සංඥාව හෙවත් ‘නවතින්න’ අණ කරන සංඥාව තිබෙන බව දන්න නිසා මම දොර ළඟට ගිහින් දුම්රියේ ඉදිරිය දිහා බලාගෙන හිටිය. කහ සංඥාව නිසා දුම්රියෙ වේගය අඩු කරමිනුයි රියැදුරු මහතා ගමන් කෙළේ. ඈතින් සංඥා කුලුනෙ රතු සංඥාව තිබුණා. දුම්රිය නැවැත්වුවා. වෙනදට වඩා කලබල පරිසරයක් තිබුණා. මිනිස්සු හැම තැනම දුවනවා. වතුරත් හැම තැනම. මං හිතුවා ළිඳක් ඉහිනව වෙන්න ඇති කියල. සංඥා නොතිබුණ දුම්රිය ඉදිරියට ගෙනියන්න මම දුම්රියෙන් බැහැල ඉදිරියට ගියා.

ඒ බැහැල යන්න ඉස්සර මට තේරුණා සංඥා කණුවට සමීප මල්වැන්න දුම්රිය හරස් මඟේ වේගයෙන් වාහන එහේට මෙහේට යන බව. සමහර විට කෝලාහලයක් වෙන්න ඇති කියලත් මට හිතුණා.

වෙලා තියෙන දේ ගැන මට තවත් අමුතුවෙන් හිත හිත ඉන්න කාලයක් තිබුණෙ නෑ. අඩි 10 – 15 ක් විතර උස වතුර කඳක් මුහුදෙන් ඇවිත් අපේ දුම්රිය මැදින් එහා පැත්තට ගියා. ඒ වතුර පාර හරිම වේගයෙන් ආවෙ. ටික වේලාවක් දුම්රියේ ජනෙල් මට්ටමට ආසන්නවම වතුර පිරිල තිබ්බ. වේගයෙන් එන වතුර පාර දැකපු බිම හිටපු මිනිස්සුත් කෝච්චියට නැග්ග. කෝච්චිය උස නිසා ආරක්ෂාව පතා තමයි එහෙම කරේ. දුම්රියේ හිටපු මඟීන් ‘ඉතිපිසෝ ගාථාව…’ කියනව මට ඇහුණා. තවත් සමහරු බයෙන් කෑ ගහනවා. පොඩි ළමයි ඇඬූ ගමන්මයි. වතුර මට්ටම අඩු වුණාට පස්සෙ මම මුහුද දිහා බැලුවා. මුහුද කාන්තාරයක් වගේ… මුහුද හිඳිලා. වතුර නෑ. වැලි කාන්තාරයක් දකින්න ලැබුණා.

මේ වෙලාවේ ලයිට් කණුවක එල්ලිලා හිටපු පිරිමි ළමයෙකුයි ගහක එල්ලිලා හිටපු ගැහැනු ළමයෙකුයි මර ළතෝනි දුන්නා එයාලව බේර ගන්න කියල. දෙන්නම කෝච්චියෙ ආපු අය බව මට තේරුණා. කවුරු වුණත් කොහොම වුණත් ජීවිතයක වටිනාකම කියල නිම කරන්න පුළුවන් ද? මම නියාමක නිල ඇඳුම් ගලවලා යට ඇඳුම පිටින් ගස් නැග්ගා ලයිට් කණුවටත් ආධාරක ඇතිව ගිහින් මේ දරුවන් දෙන්නව බේරගෙන ආවා. ඒ දෙන්නව යළිත් දුම්රියට නංවලා මඟීන්ට කිව්වා වතුර අඩුවෙනකල් කෝච්චියෙන් බහින්න එපා කියල. වතුර පාර දුම්රියෙන් අඩු වුණත් පොළොවෙන් සම්පූර්ණයෙන්ම බැහැලා ගිහින් තිබුණේ නෑ.

මම උප නියාමක මැදිරියටත් එන්ජිමටත් යන්න කියල ගියා. එතකොටයි දැක්කෙ දෙවෙනි පන්තියෙ මැදිරියක් ගැලවිලා ගිහින් තියෙන බව. ඈතට ගිහින් තිබුණෙ නැහැ. නමුත් දුම්රිය ඉස්සරහට ගෙනියන්න බැරි තත්ත්වයක් තිබුණා. නමුත් අපි මොකක් හරි ආරක්ෂිත ක්‍රියාමාර්ගයක් ගන්න තීරණය කළා වතුර අඩු වුණහම. උප නියාමක ගුණරත්න මහත්මයා හමුවෙලා පස්සෙ එන්ජිමට නැග්ගා. රියැදුරු ජනක ප්‍රනාන්දු මහත්මයා මාව බදාගෙන අල්ලගෙන ඇහුවා මොකද අපි කරන්නෙ කියලා. වතුර පාර ටිකක් අඩු වුණාම කෝච්චිය පුළුවන් විදිහට එහා මෙහා කරගන්න අපි තීරණය කළා. වතුර පාරට යට වුණත් එන්ජිම හොඳින් තිබුණා.

ඒත්…

සිදුවුණේ හිතාගන්නවත් බැරි දෙයක් වැලි තලාවක් වෙලා තිබිච්ච මුහුද අඩි 50 ක් 60 ක් විතර මහා උසින් අපි දිහාට එනව දැක්කා. මම එන්ජිමෙන් බැහැලා මඟී මැදිරිවලට ගියා. මඟීන්ට ආරක්ෂක උපක්‍රම ලබා දෙන්නයි එහෙම කළේ.

තත්පර කීපයකින් විශාල ඝෝෂාවක් එක්ක ආපු මුහුදු රළ කෝච්චිය එහාට

මෙහාට විසි කළේ සෙල්ලම් බඩුවක් වගෙයි.

මම හිටපු දෙවෙනි පන්තියෙ මැදිරියේ ජනේලයකින් මම දුම්රියේ බඳට ගොඩ වුණා. දුම්රිය මැදිරි පෙරළිලා. සමහර මැදිරි පාවෙලා යනවා දැක්කා. මං හිටපු මැදිරියත් පාවෙලා ගිහින් ගෙදරකට හේත්තු වී නතර වුණා. ඒ අසලම ගහකුත් තිබුණ නිසා දුම්රිය මැදිරිය එහෙට මෙහෙට හෙළවුණේ නැහැ. ඒකත් මට හොඳට හිටියා. පුළුවන් තරම් මඟීන් එම ජනේලයෙන් වහලට ගත්තා.

මම මරණය පෙනි පෙනී මේ සේරම කරේ. මේ වේලාවෙ දුම්රියෙ බඳට නැගුණු සමහරු ගෙවල්වල වහල උඩ තව සමහරු ගස් උඩ ඉන්නවා මම දැක්කා.

දුම්රිය අනතුරට පත්වෙච්ච හරියෙ පොල් වළවල් තියෙනවා. ඒක නිසා හරිම පරිස්සමින් ඇවිදින්න ඕන බව මම දැනගෙන හිටියා. ජීවිත බේරා ගන්න අයත් එක්ක උස් බිමක පිහිටි පන්සලකට ගියා. ඒ තොටගමුව විහාරයයි. එතන බොහෝ දෙනෙක් විපතට පත් වෙලා ඇවිත් හිටියා.

සමහරු අඬනවා, සමහරු බයවෙලා, එතන තිබුණු තත්ත්වය විස්තර කරන්න බැහැ. ඒ තරම් ශෝචනීයයි.

මට පන්සලේදී තමයි දැනගන්න ලැබුණෙ ඒ වෙනකොට ලංකාවේ මුහුදුබඩ පළාත් යට කරගෙන මුහුද ගොඩ ගලා තියෙන බව. මගේ ගේ තියෙන්නේ වැලිගම මුහුද අයිනෙ. එදා ඉරිද පෝය දවසක්. මගේ දරුවො දෙන්න, බිරිය, මගේ තාත්තා මේ සේරම අය එදා ගෙදර හිටියා…’

ඔහුගේ මානසිකත්වය ඒ මොහොතේ කුමන තත්ත්වයකට පත්වන්නට ඇත්ද? තම දරු දෙදෙනා, බිරිය, පියා ගැන කිසිදු ආරංචියක් නොමැත. එහෙත් ඒ සියල්ල ගැන කිසිදු තොරතුරක් නැතත් තම රාජකාරිය අකුරටම කළ යුතු බව ඔහු පසක් කර ගත්තේය. ඔහු සිතට ධෛර්යය ගත්තේය. ශක්තිය උපදවා ගත්තේය. තම රාජකාරිය අකුරටම ඉටු කළ යුතු යැයි අදිටන් කර ගත්තේය. ඔහු ඒ සඳහා යළිත් පන්සලෙන් එළියට ආවේය. දිවි ගලවා ගැනීමට හැකි අයෙක් සිටීදැයි සොයා බැලුවේය. බැලු බැලු සැම තැනම මළ සිරුරු විසිරී ඇත. දකින්නට අපහසු මේ දර්ශනයන්ගෙන් සිත කලඹවා නොගත් ඔහු තව දුරටත් ඒ සම්බන්ධව සොයා බැලුවේය.

තමා භාරයේ තිබූ දුම්රිය පෙරළී ගොසිනි. එය යළි තම භාරයට ගෙන පාලනය කිරීම කළ නොහැකිය. ඔහු යළි දුම්රිය එන්ජිම වෙත ගියේය. එන්ජිම පෙරළී ගොසිනි. ටොන් 92 ක් බරැති මෙම එන්ජිම සුනාමිය විසින් මෙසේ පෙරළා දැමීමට නම් කොතරම් බලයක් ශක්තියක් සුනාමියට තිබෙන්නට ඇති ද? කරුණාතිලක මහතා පෙරළී ඇති දුම්රිය එන්ජිමේ බඳ මතට ගොඩ විය.

“එන්ජිම උඩට නඟින එක ලේසි වැඩක් වුණේ නැහැ. තෙල් නිසා අල්ලන්නවත් පය තියන්නවත් විදිහක් තිබුණේ නැහැ. ඒත් ශක්තිය අරගෙන නැඟලා බැලුවා. එන්ජිම ඇතුළෙ අඳුරගන්න අපහසු මළ සිරුරක් තිබුණා. එය රියැදුරු ජනක ප්‍රනාන්දු මහතාගේ හෝ රියැදුරු සහායකගේ බව මම තේරුම් ගත්තා”

වෙනත් ගලවා ගැනීමට අයෙක් සිටින බවක් නොපෙනුණු හෙයින් කරුණාතිලක මහතා යළිත් තමා පෙර ගිය පන්සල වෙත ගමන් කරන්නට විය. පන්සල අවට එකම මළ ගෙයකි. දකින දකින සෑම දෙසින්ම බලන්නට තිබුණේ මළ සිරුරුය. අහන්නට ලැබුණේ විලාපයන්ය. තම දරු පවුල ගැන ඔහුගේ මනස එක් පසෙකට දිව යයි. තමා භාරව සිටි දුම්රියේ ව්‍යසනය තවත් පසෙකින් ඔහු අවුල් ජාලයකට පත් කර ඇත. තොටගමුව විහාරයට ගිය ඔහුට තවත් වගකීම් රැසක් ඇති නිසා ඒ කර්තව්‍යයට සිත යොමු විය.
යට ඇඳුමෙන් පමණක් සිටි මට ඒ වෙලාවෙ ගැහැනු ළමයෙක් බුදු ගෙයක් ළඟ හැංගිලා ඉන්නවා දැක්කා. ඒ ළමයා මම අර ගහ උඩ ඉඳල බේර ගත්ත ළමයමයි. එයා හැංගිලා හිටියෙ ඇඳුමක් නැති නිසයි. මම බෝධියේ අපලෙකට එල්ලල තිබුණ රෙදි කෑල්ලක් ඒ ළමයට ගිහින් දුන්න.

හතර වටින්ම මාර්ග ඇහිරිලා තිබුණත් මට පොලීසියට ගිහින් මේ ගැන දෙපාර්තමේන්තුවට දැනුම් දෙන්න ඕන වුණා. ඒ වෙනකොට පන්සල කිට්ටුව තිබුණ මොලපු ඔයත් පිටාර ගලලා මට මොලපු ඔයෙන් එගොඩට යන්න සිදුවුණා. නමුත් ඒ පාලම කඩාගෙන ගිහින්. පිරිසක් එක්වෙලා කේබල් දාල එහා පැත්තට යන්න පුළුවන් විදිහට අවදානම් වුණත් ක්‍රමවේදයක් හදලා තිබුණා. කෙසේ හෝ මේ ව්‍යසනය දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට වාර්තා කිරීම මගේ වගකීමක්. දුරකතන පද්ධතිය මුළුමනින්ම බිඳ වැටිලා. කිසිම දෙයක් කරගන්න නැති නිසා කේබල් එකේ එල්ලිලා යන්නෙ නැතිව මම ඔයෙන් එහාට පීනල ගියා. යට ඇඳුම පිටින් සිටි මට එකවරම කතා කරා.

‘කරුණේ…’

ඒ ගාල්ලේ ධාවනාගාරයේ ෆෝමන්වරයෙකි. ඔහු ඉතා හොඳින් කරුණාතිලක දන්නා අයෙකි.

ඔහුගේ නිවස පිහිටියේ ඒ අසල බැවින් ඔහු කරුණාතිලක කැඳවාගෙන ගොස් සාත්තු සාප්පායම් කළ අතර සරමක් සහ කමිසයක් ද ලබා දුන්නේය. “ඒක ඇඳගත් මම ඔහුත් සමඟ පයින්ම මීටියාගොඩ පොලිසියට ගියා.”

ඔහු එසේ පොලිසියට ගියේ දුම්රිය අනතුර වාර්තා කිරීමටය. තම අඹුදරුවන් පවා සුනාමි ව්‍යසනයට මුහුණ දී සිටියදී ඔහු එසේ තම රාජකාරිය දේවකාරියක් සේ සලකන ලදී.

“මම මීටියාගොඩ පොලිසියට ගියේ වෙච්ච විනාශය ගැන කියන්න. උදේ 9.30 ට විතර අනතුර වුණේ එතකොට හවස 4.30 ට විතර ඇති. නමුත් මට සිදුවුණේ බලාපොරොත්තු නොවූ දෙයක් මම එහි යන විට ඕ අයි සී මහතා හිටියේ නැති නිසා කොස්තාපල්වරයා පැමිණිල්ල ලියා ගැනීම ප්‍රතික්ෂේප කළා.”

මෙතරම් ව්‍යසනයක් සිදුවී තම දිවිය පවා පරදුවට තබා අඹුදරුවන් අනතුරේ බව දැන දැනත් තම රාජකාරියට ලැබුණු පිළිතුර ගැන ඔහුට මොනවා සිතෙන්නට ඇත්ද? මිනිසුන් දහස් ගණනකගේ ජීවිත දුම්රිය ව්‍යසනයෙන් පමණක් අහිමි වී ඇත. දේපළ ද අතිවිශාලය. කරුණාතිලකගේ ඉවසීමේ සීමාව පැන ගියේය.

“මම දුම්රියේ ප්‍රධාන නියාමකවරයා මේ ගැන කියන්න පොලිසියට නැතිව වෙන කොහේටද යන්නෙ, දෙපාර්තමේන්තුව මේ ගැන මුකුත් දන්නෙ නැතුව ඇති.” කරුණාතිලකගේ හඬ පොලිසිය පුරා තරමක් උස් හඬින් ඇදී ගියේය. ඔහු දෙස තරහින් බලා සිටි කොස්තාපල්වරයා ඉවතට ගියේය. පැයකට ආසන්න කාලයක් පොලිසියේ ගත කිරීමට ඔහුට සිදු විය. ස්ථානාධිපතිවරයා නොපැමිණි නමුත් වෙනත් උසස් නිලධාරියෙක් පැමිණි පසු කරුණාතිලක තම අවශ්‍යතාවය ඔහුට ඉදිරිපත් කෙළේය. හෙතෙම කරුණාතිලකගේ කතාව සාවධානව අසා සිටියේය. ඔහුගේ කට උත්තරය ලියා ගන්නා ලෙස ද පොලිස් නිලධාරියකුට නියෝග කෙළේය.

‘නමුත් දෙපාර්තමේන්තුවට පණිවුඩය දෙන්න විදිහක් තිබුණෙ නැහැ. මා ඒ සම්බන්ධවත් එම අවස්ථාවේ මගේ දුක් ගැනවිල්ල පැවසූ උසස් නිලධාරියාට දැන්වූවා. මරදාන පොලිසියට පොලිස් පණිවුඩයක් යවා එමඟින් දෙපාර්තමේන්තුවට යවන බව ඔහු මා හට දැන්වූවා.”

හතර වටින් අඳුර ගලා එද්දී කරුණාතිලක පොලිසියෙන් එළියට ආවේ තම දරු පවුල බැලීමට යාමේ අරමුණෙනි. වැලිගම වෙරළ ආසන්නයේ සිටින තම දරු පවුල ගැන මතක් වන විට ඔහුට කිසිවක් දරාගත නොහැකි විය.

‘මට ඇඬුණා දරු පවුල මතක් වෙලා. නමුත් මං ඒ වෙලාවෙ අසරණයි. හතර වටින්ම මුහුද ගොඩ ගලලා ගාලු පාරේ එක වාහනයක්වත් නැහැ. මම මීටියාගොඩ ඉඳල දහදුක් විඳගෙන කොහොමහරි වැලිගමට ආවා. ඒ ආවෙ මහ රෑ. මං දැක්කෙ කලින් දවසෙ ගෙදරින් යනකොට තිබිච්ච වැලිගම නෙමෙයි. වැලිගම වෙරළ සම්පූර්ණයෙන්ම සුනාමියට යට වෙලා මං කකුල් දෙක පුළුවන් වීරිය දාල ගෙදරට ආවෙ ආත්ම ශක්තිය දැඩි කරගෙන. මගේ දරු පවුලට ආශිර්වාද කරමින්.’

‘දෙයියනේ මගේ ගේ සම්පූර්ණයෙන්ම විනාශ වෙලා. ඒත් මගේ බිරිය දරු දෙන්නා මගේ පියා නිරුපද්‍රිතව සිටියා. මට එදා සැනසිල්ලකට දැනුණේ එච්චරයි. සුනාමිය මගේ මුළු සේසතම විනාශ කරල දාල තිබුණා. ඒත් මගේ මිත්‍ර නියාමක වරයෙක් මගේ දරු පවුල ඔහුගේ නිවසට එක්කරගෙන ගිහින් තිබුණා. මුහුද ගොඩ ගැලුවා වගේ මගේ දෑසින් කඳුළු කඩාගෙන වැටුණා. මගේ ජීවිතේ අමතක නොවන තවත් අවස්ථාවක් තමයි ඒ වෙලාව. ඒ වෙලාවෙ තමයි ඔවුන් මාව දැකල සතුටු වුණේ.”

අංක 50 දුම්රියේ ගමන් කළ මඟීන් 1302 ක් මිය ගිය බව දුම්රිය දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි. එහෙත් දුම්රියේ සිට සුනාමි ව්‍යසනයෙන් මියගිය පිරිස ඊට වඩා වැඩිය.

අවම වශයෙන් එම සංඛ්‍යාව 1500 ඉක්මවා ගොස් ඇත. අවට සිටි පිරිස් ද දුම්රියට නැඟ තිබුණේ මුහුදු වතුරෙන් ආරක්ෂා වීමටය. එහෙත් සුනාමිය දුම්රියත් සමඟම ඔවුන් රැගෙන ගියේය.

සුනාමියට දුම්රිය අසුවීම වළක්වා නොගැනීම ගැන පරීක්ෂණ පැවැත්විණි. දුම්රිය දෙපාර්තමේන්තුව 44 දෙනකුගෙන් සාක්ෂ්‍ය කැඳවා පරීක්ෂණ පැවැත්වීය. එම පරීක්ෂණයේ ප්‍රතිඵල ගැන දැන් කතා කර පලක් නැත. ප්‍රතිඵල හරි හෝ වැරැදි හෝ වේවා විනාශය සිදු වී අවසන්ය. එහෙත් වනිගරත්න කරුණාතිලක මහතා ඒ ගැන දරන්නේ වෙනමම අදහසකි.

“දකුණු කළුතර රුහුණු කුමාරි එනකල් ඉන්න අපි එදා දකුණු පයාගලට ගියෙත්, අළුත්ගමදි සාගරිකා එනකල් ඉන්න අපි එදා ඉඳුරුවෙදි සාගරිකා හමුවෙන්න ගියෙත් අම්බලන්ගොඩදී ඉක්මනින් ගියෙත් දෛවය අනුවම කියලයි මං හිතන්නෙ. මේක මැරෙන්නම ගිය ගමනක්. ‘ඒත් එක්කම තව එකක් කියන්න ඕන. මේ සිද්ධිය අදින් වසර 13 කට පෙර වෙච්ච මහ අවාසනාවන්ත සිදුවීමක්. මේ ගැන කතා කරන්නවත් මම කැමැති නෑ.’

මැනිටොබා Class M2 591 දරණ එන්ජිම අදත් ශ්‍රී ලංකාවේ වැදගත්ම දුම්රිය කීපයක් අරන් යන්නේ සුනාමියෙන් පසු අඩපණ වූ තමාව ශ්‍රී ලංකා දුම්රිය සේවයේ සේවකයන්ගේ අති විශිෂ්ඨ දක්ෂතාවය උනන්දුව කැපවීම මත යලි පණ ලැබූ නිසයි…

ඔවුන්ද අප ගෞරව පූර්කවකව සිහිපත් කරන අතර,

සුනාමි ව්‍යවසනයෙන් අනතුරට පත් මියගිය සියලු දෙනාද මා මේ මොහොතේ සිහිකරමි..
නැවත මෙවන් විපතක් සසර වසනා තුරැ අසන්නටවත් නොලැබේවායි මාගේ ප්‍රාර්ථනය…

more recommended stories

%d bloggers like this: