“ව්‍යාපාරික මාසය වෙනුවෙන් මමත් පොතක් දැම්මා” – සන්නස්ගල

නිර්මාණකරණයේදී විවිධ අත්හදාබැලීම් සිදුකරන උපුල් ශාන්ත සන්නස්ගල නිර්මාණකරුවා සිය නවතම නිර්මාණය සිනමා කියවීමක් ලෙස එළිදක්වා ඇත.

‘නිර්වාණ’ නමින් නිකුත් කර ඇති මෙම කෘතිය එළිදැක්වීම පසුගියදා (10දා) සිදුවිය. පස්වරු 6.00 සිට මධ්‍යම රාත්‍රිය දක්වා විජේරාම රෝයල් තැප්‍රෙ‘බේන්හිදී පැවැත්වුණු අතර, මේ සාකච්ඡාව ඒ වෙනුවෙනි.

වසරේ එක මාසයක් පමණක් සාහිත්‍ය මාසය ලෙස නම් කිරීම පිළිබඳ ඔබේ අදහස කෙබඳුද?

සාහිත්‍ය මාසය වෙනුවෙන්ම පොත් එළිදක්වනවා කියල බොහෝ අය කියනවා. වෙසක් මාසේ වෙසක් කූඩු විකුණන්නෙ නැතුව නත්තල් මාසෙ විකුණන්නද කියල තමයි මම ඒ අයගෙන් අහන්නේ.

2017-09-12-ent-11සාහිත්‍ය මාසය කියන්නේ වෙළෙඳ ගනුදෙනුවක් කරන මාසයක්. අපි ඒකට අර්ථයක් දෙනවා සාහිත්‍ය මාසය කියලා. ඇත්තටම ඒක තනිකර බිස්නස් එකක්. පොත් ප්‍රකාශකයන්ගේ සිට ලේඛකයන් දක්වා සියලු දෙනාම ඒ බිස්නස් එකට දායක වෙනවා.

 

මේ ව්‍යාපාරික මාසයට ඔබත් අලුත් පොතක් එළිදක්වා තිබෙනවා?

ඔව්. ඒ ව්‍යාපාරික මාසය වෙනුවෙන් මමත් පොතක් දැම්මා. එහෙම නැතිව පොත ලියල ඉවර වුණේ මේ මාසේ. මේ පොත සාහිත්‍ය මාසෙට දාන්නේ අහම්බෙන් වගේ කතා මම කියන්නේ නැහැ. බොහෝම සැලසුම් සහගතවයි සාහිත්‍ය මාසය වෙනුවෙන් මම මේ පොත එළිදක්වන්නේ.

 

ඔබේ පොතේ නම තරමක් වෙනස්.. මේ ගැනත් කතා කරමු?

සාහිත්‍ය කෘතියක් කියවන්නේ කොහොමද කියලා අපිට ඉගැන්වීමක් තිබෙනවා. උපමා, රූපක, භාෂාව, යෙදුම්, චරිත නිරූපණය, සමාජ දේශපාලන, ආර්ථික ස්වභාවය, චරිතවල චිත්ත අභ්‍යන්තරය සාකච්ඡා කරමින් නවකතාවක් කියවීම තමයි අපට තිබෙන පූර්වාදර්ශ කියවීම.

නමුත් මම උත්සාහ කළා එය සිනමා කෘතියක් විදිහට කියවන්න පුළුවන්ද කියා බලන්න. වර්ණවලින්, රූපවල හැඩයෙන්, ආලෝකය වෙනස් වන තැන්වලින්, සමීප රූප සහ දුරස්ථ රූප මගින්, පසුබිමේ තිබෙන දේවල් මගින් නවකතාවක් කියවන්න පුළුවන්ද කියා උත්සාහකර බැලුවා. මෙයට සිනො නොවෙලාව නමින් නමක් දමා තිබෙන්නේ ඒ නිසයි.

ඔබේ නවකතාවේ පසුබිම කෙබඳුද?

ලංකාවේ වැඩිපුරම නවකතා ලියැවුණ 60 දශකයේ. මේ කාලය තුළ කතාබහ වී තිබෙන්නේ ග්‍රාමීය සමාජයකින් විශ්වවිද්‍යාලයට ගොස් ඒ චරිත විශ්වවිද්‍යාලයේදී දේශපාලනය කරමින් දිසාපති ආදී තනතුරුවලට පත්වීම, ඔවුන් ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගත් නාගරික තරුණියක සමග විවාහ වීම ආදියයි. ඊට පසුව නවකතාවල තේමාව හැදුණේ කොළඹ කේන්ද්‍රීය කරගත් පුද්ගලයන්ගේ වස්තු විෂයන්.

ඊට පසුව තමන්ගේ තිබෙන අතීත කාමය පිළිබඳ නිර්මාණකරුවෝ ලියන්නට පටන් අරගෙන තිබෙනවා. නමුත් නවකතාවකවත්, චිත්‍රපටයකවත් ලංකාවේ ඉහළ මධ්‍යම පංතිය පිළිබඳ කතාවෙලා නැහැ. ඒ වගේම කොළඹ නගරයේ දැන් ගොඩනැගෙමින් තිබෙන සංස්කෘතිය පිළිබඳවත් කතාබහ වෙන්නේ අඩුවෙන්. මේ නිසා පොහොසත් මිනිසුන්ගේ, යස ඉසුරු තිබෙන මිනිස්සුන්ගේ ජීවිත ඇතුළේ දුකක් තිබෙනවාද කියන කාරණාව විෂය කරගනිමින් මම මේ පොත ලිව්වා.

රාමුවෙන් පිටත නිර්මාණ බිහිකිරීම කොතරම් අභියෝගයක් වුණාද?

‘පිරිමි ගොඩයි මං විතරයි’ කියන නවකතාව ලියද්දී මම ප්‍රස්ථාව පිරුළු සහ රූඩි විශාල ප්‍රමාණයක් භාවිත කරමින් භාෂාව සකසා ගත්තා. ‘අම්මා’ නවකතාව ලියද්දී ග්‍රාමීය සරල භාෂාවක් භාවිත කළා. ‘ලලනයනය’ ලියද්දී චිරන්තන සාහිත්‍ය‘‘යේ ස්වභාවය භාවිත කරපු මම ‘කොළපාට ඇස්’ කියන නවකතාව ලියද්දී උත්තමපුරුෂ දෘෂ්ටිකෝණයන් දෙකක් භාවිත කළා. ඒ වගේම මේ නවකතාවේදී කෙටි වැකි භාවිත කරන්න, හයිකු කවි ආරයට ලියන්න මම උත්සාහ කළා.

නමුත් මේ මොන දේ කළත් ප්‍රශ්නෙ තියෙන්නේ එතැන නෙවෙයි. ලංකාවේ සාහිත්‍ය විචාරකයෝ සහ සම්මාන උලෙළවල්වල සිටින තක්කඩි විනිශ්චයකරුවන්ට වඩා ඉහළින් තමයි මගේ සාහිත්‍යය තිබෙන්නේ. මේ නිසා මාව විනිශ්චය කරන්න එයාලට අමාරුයි. මම ඉන්නේ ඒ විනිශ්චයකරුවන්ට වඩා ඉහළින්. එහෙම නැතිනම් ඒ විනිශ්චයකරුවන්ගේ දැනුම් සීමාව අඩුයි. ඔවුන්ගේ දැනුම් සීමාවට මගේ නිර්මාණ අහුවෙන්නේ නැහැ. ඒ නිසා මම ලියන්නේ විචාරකයන් සඳහා හෝ විනිශ්චයකරුවන් සඳහා නොවේ. මට ඉන්නවා පාඨක පිරිසක්. ඔවුන් ඒ දැනුම් සීමාව ඇතුළේ ඉන්නවා. අඩුම තරමේ උසස්පෙළ ළමයෙකුගේ තිබෙන දැනුමවත් ඒ විනිශ්චය මණ්ඩලවලට නැහැ. එයාලගේ දැනුම් කලාපය මගේ සාහිත්‍ය‘යෙන් තොරයි.

විනිශ්චයත්, සම්මානයත් සාහිත්‍ය‘යේ ප්‍රගමනයට දායක වෙනවා කියා ඔබ හිතන්නේ නැතිද?

කාට හෝ සම්මානයක් ලැබුණු විට පොඩි උත්කර්ෂයක් ඇතිවෙන්න පුළුවන්. මේ වෙද්දී ඒ උත්කර්ෂය තිබෙන්නේ වෙළෙඳපොළ සමග. පළමු වටයේ පොත් දොළහට, පහට පැමිණියොත් ඒ පොත් විශාල වශයෙන් විකුණන්නට පුළුවන්කමක් තිබෙනවා. එය වෙළෙඳපොළ කාර්යයක්. මම ඒකයි මුලින්ම කිව්වේ සාහිත්‍ය මාසය ගනුදෙනු යායක් කියලා.

නමුත් එතැනින් පිටස්තර නිර්මාණකරුවන් පිළිබඳ දැනුම් කලාපය අල්පයි. උදාහරණයක් ලෙස අජිත් තිලකසේන වගේ ලේඛකයෙක්, සයිමන් නවගත්තේගම වගේ ලේඛකයෙක්, කේ.කේ. සමන් කුමාර වගේ ලේඛකයෝ ගත්තොත් ඔවුන් කිසිම සම්මානයකට පාත්‍ර වුණ නිර්මාණකරුවෝ නෙවෙයි.

කේ.කේ. සමන් කුමාර පසුගිය වසරේ ‘මහිලාවංශය’ නමින් පොතක් නිකුත් කළා. ඒ පොත ස්වර්ණ පුස්තක සම්මානයේ පළමු පොත් දොළහටවත් තේරුණේ නැහැ. ඒකෙන් අදහස් කරන්නෙ නැහැ ඔහු සාහිත්‍යකරුවෙක් නෙවෙයි කියලා. අජිත් තිලකසේනගේ පොත්වලටත් සම්මාන ලැබුණෙ නැහැනේ.

විනිශ්චයකරුවෝ දැනුම් කලාපයෙන් තොරයි කියන කාරණයට මම උදාහරණයක් පෙන්නුවේ. මේ නිසාම විනිශ්චයකරුවෝ කියන්නේ බොහොම ප්‍රාථමික දැනුම් කොට්ඨාසයක් තිබෙන අය විදිහටයි මම සලකන්නේ. සාහිත්‍ය සම්මානයකින් නිර්මාණකරුවෙකුට පොඩි උත්තේජනයක් සැපයෙනවා. නමුත් සාහිත්‍යය තිබෙන්නේ සම්මානයට වඩා බොහොම ඉහළින්.

වර්තමාන පාඨකයා පිළිබඳ ඔබේ අදහස කුමක්ද?

බොහෝ සාහිත්‍ය විචාරකයන්ට වඩා පාඨකයෝ ඉදිරියෙන් ඉන්නවා කියල මම හිතනවා. ඒකට හේතුව ලංකාවේ අධ්‍යාපනයේ තිබෙන දුර්වලතාවය. ලංකාවේ අධ්‍යාපන පද්ධතිය තුළ සාහිත්‍ය කෘතියක් කියවන සහ සාහිත්‍ය කෘතියක් පිළිබඳ තමන්ගේ මතයක් ඉදිරිපත් කරන්න පුළුවන් විශ්වවිද්‍යාල ආචාර්යවරු දෙන්නයි ඉන්නේ. ඒ තමයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉන්න ලියනගේ අමරකීර්ති සහ සබරගමුවේ සිටින හිනිදුම සුනින් සෙනවි. වෙන කවුරුත් මම දකින්නෙ නෑ. එක්දහස් නවසිය හැට ගණන්වල පේරාදෙණිය සරච්චන්ද්‍ර උගන්වපු දේ තමයි දිගින් දිගටම උගන්වන්නේ.

මේ නිසා ඔවුන්ට වඩා පාඨකයෝ ඉදිරියෙන් ඉන්නවා. පොත් කියවන ලංකාවේ පාඨක පිරිසේ දැනුම සහ ඔවුන්ගේ විඥානය විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්ට වඩා බොහොම ඉදිරියෙන් තිබෙන්නේ. මම පොත් ලියන්නේ ඔවුන් සඳහා.

රටේ පොත් ප්‍රකාශකයන් හිටියත් කර්තෘ ප්‍රකාශන වැඩි වී තිබෙනවා. එසේ වන්නේ ඇයි?

මුදල් වියදම් කරලා වෙනත් දෙයක් කරනවට වඩා පොත් ප්‍රකාශකයෝ බවට පත්වෙනවා කියන්නේ සංකල්පීය දැනුමක් තිබෙන පුද්ගලයෙක් කියල මම හිතනවා. මෑත කාලයේ බිහිවූ අහස, අගහස් ප්‍රකාශකයෝ වගේ අය තව තවත් වැඩි විය යුතුයි. ඔවුන්ට සංකල්පීය දැනුමක් තිබෙනවා. ව්‍යාපාරික ප්‍රකාශකයෝ ඔවුන්ට කැමති නැහැ. මොකද මෙවැනි ප්‍රකාශකයෝ නිසා විකල්ප නිර්මාණකරුවන්ට අවස්ථාවක් ලැබෙනවා. ඒ වගේම කර්තෘවරුන්ට මිල මුදල් ගෙවන ප්‍රකාශකයෝ ඉතාම අතළොස්සයි ඉන්නේ. නමුත් මාස හයක් විතර පොත් විකුණලා සල්ලි නොගෙවන ප්‍රකාශකයෝ ලංකාවේ ඉන්නවා. එතකොට සියයට සියක්ම සල්ලි ප්‍රකාශකයා තියා ගන්නවා. කර්තෘ භාගය ගෙවීම සම්බන්ධයෙන් ලේඛකයෝ විශාල වශයෙන් ප්‍රකාශකයන්ට බලපෑම් කළ යුතුයි.

මුද්‍රිත පොත් වගේම මේ වන විට ඊපොත් වැඩි වශයෙන් බිහිවෙනවා. මේ තත්ත්වය ඔබ දකින්නේ කෙසේද?

ලංකාවේ පමණක් නෙවෙයි, ලෝකයේම කඩදාසි සාහිත්‍ය ඉවර වෙනවා. අනාගතයේදී ලෝකයේ අකුරු ලියන එක ඉවර වේවි. දැනටත් ලෝකයේ සමහර පාසල්වල උගන්වන්නේ අයි පෑඩ් එකෙන්. ඒ නිසා අත්අකුරු ලියන එක නවතීවි. වැලි පිහිල්ල ඉවර වුණා වගේම කඩදාසි සාහිත්‍යයත් ඉවර වේවි.

ඒ වෙද්දී ඊපොත් පමණක් නෙවෙයි ඒ හා සමාන සාහිත්‍ය කියවීම් ලෝකයේ වැඩි වේවි. කියවනවා කියන්නේ පොත් කියවීමම පමණක් නෙවෙයි. සමහරු චිත්‍රපට කියවනවා. ගීත කියවනවා. ජීවිතය කියවනවා. මේ නිසා පොත් කියවීම අඩුවෙනවා කියන එක එතරම් තර්කයක් නෙවෙයි.

චාමර සම්පත්

%d bloggers like this: